free hit counter

ගෝඨාභයගෙන් චම්පිකට පිස්තෝලයක්

‘පාඨලී ළඟ වසර 10 ක් තිස්සේ හොර පිස්තෝලයක්’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳවය.
2001 වසරේදී ‘සිහල උරුමය’ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ අවස්ථාවේදී පුද්ගලික ආරක්ෂාව සඳහා මා හට ගිණි අවියක් (0.38 රිවෝල්වරයක්) ලබාදෙන ලදි.

වසර 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් SEMA ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මා පත්කළ අතර 2006 වසරේදී යුධ ගැටුම් ආරම්භවීමත් සමඟ උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිවිල් ජනයාගේ ජලය, විදුලිය හා නිවාස පහසුකම් සැපයීම පිළිබඳව වූ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඒ දෙපළාතේ යුධ ගැටුම් සහිත ප්‍රදේශ වලට නිතර යෑමට සිදුවිය. ඒ අනුව නීත්‍යානුකූල ලෙස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව 2006 මාර්තු මස මාහට නව ගිණි අවියක් (9 මි.මි.) ලබාදෙන ලදි. එවිට මා සතුව තිබූ ගිණි අවිය නැවත භාරදීමෙන් පසු එය නිකුත් විය. 2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.
ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි.

මෙය හොර අවියක් නොව ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ ජාතික ව්‍යාපාරයේ නායකයෙකු ලෙස මට එල්ලවූ තර්ජන ගැන සලකා නිකුත් කරන ලද්දකි.

ගිණි අවි දහස් ගණන් නීති විරෝධීව පුද්ගලික ව්‍යාපාර සඳහා යොදාගත් අය නිදොස්කොට නිදහස් කර ඇති තත්ත්වය තුළ, කඩාවැටෙනා ආණ්ඩුව විසින් දේශප්‍රේමී අය දඩයම් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස මා මෙය දකිමි.
මෙයින් කෙසේවත් ඇන්ටිජන් හොරුන්ට හෝ සීනි, පොල්තෙල් හොරුන්ට, වන සංහාරකයින්ට හෝ දූෂිත බැඳුම්කර ගණුදෙනුවෙන් උපයාගත් මුදලින් ගත් මුද්‍රණයන්ත්‍ර වලින් නිර්මාණය වන චරිත ඝාතනවලට හෝ දූෂිත පවුල්කාමයට එරෙහිව, මවිසින් ගෙනයන අරගලය නතර නොකරන බවත්, එය තවත් වේගවත් කරනා බවත් ජාතියට ලැදි සියල්ලන්ටම දැනුම් දෙමි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Facebook Comments