free hit counter

බස්නාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක බැසිල්ගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ – පොහොට්ටුව හෙළි කරයි

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය දිගු කලකට පසුව ඇමරිකාවේ සිය යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මහත්මිය පසුගියදා “කාල්ටන් පෙර පාසල් සමූහයේ” කොළඹ, මාලිගාවත්ත ශාඛාවෙහි පැවති අවුරුදු උත්සවයකට සහභාගී වී තිබුණු අතර එම අවස්ථාවෙහි ඡායාරූප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබෙනු දැකගත හැකිවිය.

මේ දෙදෙනා කලකට පෙර යම් විරසකයකින් පසුවූ බව දේශපාලන කරළියෙහි කතාබහට ලක්ව තිබුණු අතර මේ වනවිට එම විරසකය සමනය වී ඇති බවක් පෙනේ.

කෙසේවෙතත් පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ආගමනය මේ මොහොතේ සුවිශේෂී කරුණක් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂිකාව වශයෙන් ඒ මහත්මියව ඉදිරිපත් කිරීමේ සූදානමක් ගැන ද කතාවක් පැතිර යමින් පවතින නිසාය.

පසුගිය මහ මැතිවරණයේ ද පොහොට්ටුවේ කාන්තා නියෝජනයෙහි පැහැදිලි අඩුවක් දක්නට ලැබුණු අතර පළාත් පාලන මැතිවරණ පනත අනුවත් නිශ්චිත කාන්තා නියෝජනයක් පැවතිය යුතු නිසා පළාත් සභා මැතිවරණයෙහි කාන්තා නියෝජනය ඉහළ දැමීමේ අභියෝගය පොහොට්ටුව හමුවේ තිබේ. විශේෂයෙන් පළාත් සභා එකක හෝ මහ ඇමති ධුරයට කාන්තාවක් පත්කර ගැනීම වටිනා ඉලක්කයකි.

මෙතෙක් බස්නාහිර පළාත සඳහා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා වී සිටි රේණුක පෙරේරා මහතාට සාපේක්ෂව පුෂ්පා රාජපක්ෂ මහත්මිය සුදුසුකම් අතින් වඩාත් ඉදිරියෙන් සිටින බවක් ද පෙනේ.

පුෂ්පා රාජපක්ෂ මහත්මිය මෙරට ජ්‍යේෂ්ඨ නීතීඥවරියක් වන අතර ඉතා දක්ෂ සංවිධායකවරියක් ද වෙයි. 1994 පොදු පෙරමුණු ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමතිවරයාව සිටියදී, ඒ මහතා යටතේ පැවති සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි ( ETF ) සභාපතිවරයා වූයේ ඒ මහතාගේ සමීප මිතුරෙකු මෙන්ම පෞද්ගලික නීතීඥවරයා ද වූ ඩෙන්සිල් ගුණරත්න මහතාය. නමුත් එම ආයතනයෙහි සියලු වැඩ කටයුතු සිදු කෙරුණේ එහි ප්‍රධාන නීති නිලධාරිනිය සහ අධ්‍යක්ෂිකාවක් වශයෙන් කටයුතු පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසිනි. බැසිල් රාජපක්ෂ පවුල ඇමරිකාවෙහි පදිංචියට ගියේද පුෂ්පා රාජපක්ෂ මහත්මියට හිමිවූ ශ්‍රීන් කාඩ් වීසා හිමිකමෙනි.

එමෙන්ම 2005 – 2014 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයෙහි පුෂ්පා රාජපක්ෂ මහත්මිය ලිය අභිමන් සංවිධානය සහ පුෂ්පා රාජපක්ෂ පදනම හරහා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේත් මාතර දිස්ත්‍රික්කයේත් ජනතාව වෙනුවෙන් සුබසාධන කටයුතු විශාල ප්‍රමාණයක් ද සිදුකර ඇත. ඒ මහත්මියව බස්නාහිර පළාත් මහ ඇමති තනතුරට ඉදිරිපත් කිරීමේ යෝජනාව ද අලුත්ම එකකුත් නොවන්නේ මීට පෙර 2014 පළාත් සභා මැතිවරණය හමුවේ ද එම යෝජනාව ඉදිරිපත්ව තිබුණු නිසාය.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව වශයෙන් පුෂ්පා රාජපක්ෂ මහත්මියව ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

LNW

Facebook Comments