free hit counter

මහපොළ අරමුදලේ කොටි ගණනක මංකොල්ලයක්

මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමි වී ඇතැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් එවකට කළමනාකාරීත්ව වගකිව යුතු බව විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලයේදී අරමුදලට වාසිදායික ලෙස හා පළපුරුදු ලෙස තීරණ නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය ඉක්මවා කටයුතු කිරීමත් හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද එම වාර්තාව නිගමනය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ළාභයෙන් 50% ක ලාභ කොටසක් මහපොළභාර අරමුදලට ප්‍රේෂණය කළ යුතු වුවද රුපියල් පනස් එක් කෝටි හැටහතර ලක්ෂ තිස්හයදාස් දෙසිය පනස් හතක් අඩුවෙන් ප්‍රේෂණය කර ඇති බවත් අරමුදලට හිමි එම මූල්‍ය කොටස් ලබා නොගැනීමට එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බවත් මාර්ගගත ලොතරැයි ක්‍රියාත්මක කිරීම සඳහා විදිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා අරමුදලට රුපියල් හැටහත්කෝටි තිස්නව ලක්ෂ දහතුන්දාස් හතලිස් තුනක මුදලක් අහිමිවී ඇතැයිද එම වාර්ථාවේ සඳහන් වෙයි.

Facebook Comments