free hit counter

විමල් බය කෙරු බැසිල්ගේ යෝජනාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇති ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් පක්ෂයකින් එක් එක් කොට්ඨාශය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකු බැගින් ඉදිරිපත් කිරීමට වන යෝජනාවට විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ දැඩි විරෝධයක් පළ කරමින් සිටී.

මෙවැනි ක්‍රමයක් හේතුවෙන් පොහොට්ටුව ලකුණින් එක්ව තරග වැදීමේදී ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවේ අපේක්ෂකයා වැඩි ඡන්ද ලබාගෙන කුඩා පක්ෂවල අපේක්ෂකයින් පරාජයට පත්වීමට වැඩි ඉඩක් පවතී.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සුළු පක්ෂ නායකයින් 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ තමන්ගේ නායකත්වය අනුව කීවත් පළාත් සභා මැතිවරණයේදී ඉහත කී ක්‍රමවේදය ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ගේ පක්ෂවලට කිසිඳු නියෝජනයක් ලබා ගැනීම අසීරු වනු ඇත.

ඒ අනුව එක් පක්ෂයකට එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයකට ගොස් මහමැතිවරණයෙන් තමන් දිනාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවට සාපේක්ෂව පළාත් සභා සඳහා අපේක්ෂකයින් සංඛ්‍යාවක් ලබාගෙන තමන්ගේ අපේක්ෂකයින් දිනවා ආණ්ඩුවේ බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස සිටීමට විමල් ඇතුළු කණ්ඩායම සූදානමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එක්ව පොහොට්ටුවට බලපෑම් කරමින් අපේක්ෂකයින් තිදෙනාගේ යෝජනාව පරාජය කළහොත් පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි වසර හතරම කුඩා පක්ෂවලට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් ඊළඟ මහ මැතිවරණයෙන් පැරදී ගෙදර යෑමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බව වාර්තා වේ.

Facebook Comments