free hit counter

ලෝකය දෙකට බෙදන රේඛාව

උත්තර ධ්‍රැවයට ආසන්න ආර්ක්ටික් රේඛාව ස්පර්ෂ කිරීමට ෆින්ලන්තයේ ඉහල කෙළවරට ගියෙමි . මේ ආත්මයේදී දක්ෂිණ ධ්‍රැවයට යා නොහැකි බව පැහැදිළිය . එහෙත් වඩා පහසුවෙන් යා හැකි තැන් දෙකක් තිබේ , ඉන් එකක් සමකයයි , මේ සියලුම රේඛා අක්ෂාංශ හෙවත් ලෝකයේ හරහට පිහිටා ඇති රේඛාවන්ය .

එහෙත් උත්තරාර්ධ ගෝලය සහ දක්ෂිණාර්ධ ගෝලය අතර සිරස් රේඛා ඇන්දහොත් ඒවා දේශාංශ නම් වේ . එම දේශාංශ ආරම්භ වන 0° රේඛාව ලෝකයේ බටහිර සහ නැගෙනහිර අර්ධ ගෝල යා කරන තැනයි .

ලෝකයේ වේලාව පටන් ගන්නා තැන හෙවත් ග්රීන්විච් මධ්‍යාහ්න රේඛාව මත මේ මොහොතේ පා තබා සිටිමි .
කොටින්ම ලෝකයේ මැද ලෙස පිළිගන්නා ස්ථානයේ මධ්‍යස්ත ලෙස සිටිමි . මේ අද්වීතිය භුමි භාගය පිහිටියේ එංගලන්තයේ ග්‍රීන්විච් නගරයේ කුඩා කඳු ගැටයක් මතය .

එහි පොලොව මත මල නොබැඳෙන වානේ සහ තඹ පටියක් සලකුණු කිරීමෙන් දේශාංශ රේඛාව දක්වා ඇත .
ග්‍රීන්විච් උද්‍යානය හරහා කඳු ගැටය තරණය කරමින් එන දිනකට දහස් ගණනක් වූ ජනතාව පවුම් 10 ක් ගෙවා නාවික මුලස්ථාන භුමියේ ඇති එම රේඛාව හරහා එක කකුලක් නැගෙනහිර අර්ධ ගෝලයටත් ,අනෙක් කකුල බටහිර අර්ධ ගෝලයටත් තබා චයාරුප ගනිති .

රාත්‍රී කාලයේ ග්‍රීන්විච් අහස හරහා තද කොළ පති ලේසර් ධාරාවක් මගින් එය සලකුණු කර පෙන්වයි . කලින් කලට සොයා ගත් නව උපකරණ හේතුවෙන් ගණනය කිරීම් වෙනස් වීමෙන් මේ රේඛාව පිහිටි ස්ථානය වෙනස්කම් වලට භාජනය වී ඇත

නාවික ගමනා ගමනයේදී සහ වේලාව නිවැරදිව ගණනය කර ගැනීමේදී නිශ්චිත ආරම්භක ස්ථානයක් අවශ්‍ය විය . ශත වර්ෂ කිහිපයක්ම ලෝක නාවික බලය අත් පත් කරගෙන සිටි හිරු නොබසින අධිරාජ්‍යයේ නාවිකයින් මේ ස්ථානය කේන්ද්‍ර කොට ගෙන තිබිණි .1884 දී වොෂින්ටනයට රැස්වූ ජාතින් 25 කින් 22 ක එකඟත්වයෙන් මෙය මධ්‍යාහ්න රේඛාව ලෙස සම්මත කර ගන්නා ලදී .

තේම්ස් නදිය අභියස ග්‍රීන්විච් උද්‍යානයේ කඳු ගැටය මත පිහිටි නාවික බැලුම් ගල ලෙස හැඳින්විය හැකි මේ ස්ථානය ප්‍රකට තාරකා ශාස්ත්‍රඥයින් කිහිප දෙනෙකුගේම අතීත පර්යේෂණ මධ්‍යස්ථානයකි .

යුරේනස් ග්‍රහයා සොයා ගත් විළියම් හර්ෂල් අහස නිරීක්ෂණය පිණිස තනාගත් දැවැන්ත දුරෙක්ෂයක කොටසක් පිවිසුමේදීම දැකිය හැකිය .

අතීත අධ්‍යයනයන්හිදී නිතර හමු වූ සහ තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය ඉගැන්වීමේදී නිතොර සඳහන් කළ මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් ඇසුරු කළ දෑ සියැසින් දැක ගැනීමට හැකි වීම භාග්‍යයකි .

නාවික ගමනාගමනයේදී යාත්‍රාවන් හරියටම සිටින ස්ථානය නිර්නය කර ගැනීම සඳහා එක් නිශ්චිත ස්ථානයක සිට සඳ හා තාරකා අතර ඇති දුර ප්‍රමාණය වෙනස් වන ආකාරය මැනගත යුතුය .ඒ සඳහා සුප්‍රකට ධූම කේතුව සොයා ගත් එඩ්මන්ඩ් හේලි විසින් භාවිත කළ මිනුම් දුරේක්ෂය ද මෙහි දැකිය හැකිය .

ග්‍රීන්විච් මධ්‍යස්ථානයේදී මට හමු වූ අනෙක් සුපුරුදු නාම ධාරියා වුයේ ජර්මන් ජාතික තාරකා විද්‍යඥයෙකු වූ ටෝබියස් මයෙර්ය. සඳේ සහ තාරකා වල පිහිටීම අනුව නිවැරදිව තමන් සිටින ස්ථානය ගණනය කිරීම සඳහා චක්‍රයක් සකස් කලේ ටෝබියස් ය .එය නාවික ගමනා ගමනය පහසු කරවීය .

තම අක්ෂය වටා භ්‍රමණය වන ලෝකය ඉරිගසා වෙන්කර ඒවාට අගයන් ආරෝපණය කර දේශාංශකයෙන් දේශාංශ කයට වේලාව වෙනස් වන ක්‍රමවේදයක් සකස් කිරීමට මුල් වූ මධ්‍යස්ථානය ග්‍රින්විච් නගරයයි .
වේලාව ඉපදෙන තැන ලෙස එහෙයින් එය හැඳින්විය හැකිය .

නාවික ගමනා ගමනයත් , ගුවන් ගමනුත් , සියලු ලෝක සිතියමුත් ක්‍රියාත්මක වන්නේ මේ උපකල්පනයට අනුවය . සැබවින්ම නොපවතින තත්ව උපකල්පනය කිරීමෙන් කෙතරම් ජීවිතය පහසු කර ගන්නා ගමන් සංකීර්ණ කර ගත හැකිද යන්න මෙතැනදී අවබෝධ වේ

නාරද විජයසූරිය

Facebook Comments