free hit counter

උඩුවේ ධම්මාලෝක හිමි ආශිර්වාදයෙන් සිදු වූ පුෂ්පා රාජපක්ෂගේ දේශපාලන ආගමනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අයෝමා රාජපක්ෂ මහත්මියත් බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියත් පසුගිය 11 වනදා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානය වන කිරුළපන, සිරි ඇලන් මැතිණියාරාමායෙහි උත්සවයකට සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබිණි.

එහිදී අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එදිනට යෙදී තිබුණු උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ උපන් දිනයත් පසුදිනට යෙදී තිබුණු එහිමියන්ගේ මෑණියන්ගේ උපන් දිනයත් වෙනුවෙන් දානමය පිංකමක් ද පැවැත්විණි. මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කර තිබුණේ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසිනි.

බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මෙවර බස්නාහිර පළාත් මහා ඇමති සටනට පිවිසිණ බවට ආරංචි පැතිරෙමින් තිබෙන මොහොතක ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා රාජපක්ෂ විසින් ලංකාවේ සුප්‍රසිද්ධ භික්ෂුවක් වන උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ආශිර්වාද ලබා ගනිමින් කිරුළපන ඇලන් මැතිනියාරාමයේදී ආගමික වතාවත් වල නිරත වී තිබේ,

බොහෝ දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරන්නේ මෙම කටයුත්ත පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අනාගත දේශපාලන කටයුත්තක ආරම්භක පියවරක් ලෙසෙනි.

එසේම පසුගිය කාලය තුළ උඩුවේ ධම්මාලෝක හිමියන් සහ විමල් පාර්ශවය අතර ඇතිව තිබෙන හොඳ හිත බැසිල් ඇමතිවරයා විසින් දිනා ගැනීමත් මේ හරහා සිදු වූ බව පැවසේ.

Facebook Comments