free hit counter

පාස්කු ප්‍රහාරය හා 20 වන සංශෝධනය අතර සම්බන්ධයක් තියනවා – අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර බලවේග සිටින බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කළේය. ඉරිදා සවස ඔහු කළ ප්‍රකාශය වැරදියට වටහාගෙන ඇති බවත් පාස්කු ප්‍රහාරයට කිසිදු ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායමක් සෘජුවම සම්බන්ධ නොවන බවත් එතුමා සඳහන් කළේය.

“ඉරිදා මා කළ ප්‍රකාශ බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇත. පාස්කු ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර බලවේග ඇතත් ප්‍රාදේශීය දේශපාලන සංවිධාන ඇති බව මම නොකීවෙමි. ආයුධ නිපදවන සහ වහබිවාදය වැනි ආගමික හා ජනවාර්ගික අන්තයන් භාවිතා කරන ඇතැම් බලවේග තිබේ. ගැටුම් ඇති කර ඔවුන්ගේ ආයුධ අලෙවිකරණය කිරීම එම කණ්ඩායම් වල අරමුණයි.

අන්තවාදයට සම්බන්ධ වන්නේ මුස්ලිම්වරුන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණි. එබැවින් වසර 1000 කට වැඩි කාලයක් තිස්සේ වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් සමඟ සහජීවනයෙන් කටයුතු කළ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ආයාචනා කිරීමට කැමැත්තෙමි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන අගරදගුරු තුමා කියා සිටියේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා තම උපදෙස් පැතූ ඇතැම් පුද්ගලයින්ට සර්පයන් සමඟ සෙල්ලම් නොකළ යුතු බවයි. “ජනාධිපති කොමිෂන් සභාවේ වාර්ථාවේ හිටපු ජනාධිපතිවරයා ගැන බොහෝ දේ සඳහන් කර ඇත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වර්ධනය වන අන්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෘදු ප්‍රවේශයක් අනුගමනය කළ බව ද සඳහන් කර තිබේ.”

ඒ අතරම කාදිනල්තුමා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම අතර සම්බන්ධයක් තිබිය හැකි බවයි.

“එක් මුස්ලිම් දේශපාලන පක්ෂයක නායකයෙක් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සහ එකම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සහ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම යන සියල්ලම සැක සහිත ය. මෙම සිදුවීම් ගනුදෙනුවක කොටසක් විය හැකිය,” එතුමන් පැවසීය.

Facebook Comments