free hit counter

බැසිල් පිළට ආණ්ඩුව ඇතුලේ තීරණාත්මක පරාජයක්

රජයේ ප්‍රමුඛ තනතුරු සඳහා පත්කර ඇති බැසිල් රාජපක්ෂගේ අභ්‍යන්තර කවයේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඉක්මනින් සිය තනතුරු අහිමි වීමේ අවදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුණු රේණුකා පෙරේරාගේ සිදු වීම එවැනි සිදුවීම් දාමයක ආරම්භය යැයි සඳහන් වෙයි.

සිය ඉල්ලා අස්වීමේදී රේණුක පෙරේරා ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරන්තර අනවශ්‍ය මැදිහත්වීම හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි.වසර 25 ක් පමණ දේශපාලනයේ යෙදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සංවිධායක රේණුක පෙරේරා අවම වශයෙන් දශකයක්වත් දේශපාලන ඉතිහාසයක් නොමැති කෙනෙකුට බය වී සිටීම ඔහුට අවාසනාවන්ත සිදු වීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් පවසති.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “මහජන සේවාවන් සපයන රාජ්‍ය ආයතනවලට මහජන අපේක්ෂාවන් ඉටු කිරීමට නොහැකි” බවට වන චෝදනාව අවසන් කරන ලෙස ඉල්ලා තිබේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන් සිය රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට වාර්තා වී ඇති බවත්, රජයේ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට අපොහොසත් වී ඇති එවැනි කාර්යාල පිළිබඳව වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට පවසා තිබේ.

එම තොරතුරු අනුව නව නිලධාරීන් ආදේශ කිරීමට පවා තමන් සූදානම් බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර කැබිනට් අමාත්‍යවරුන් සිටියද ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩි වගකීම් පැවරීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් අතර මැසිවිලි නැඟෙන බවද සඳහන් වේ. මෙලෙස ජනාධිපතිවරයා එක පාර්ශවයකින් තමන් බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ වියත්මගට සම්බන්ධ පිරිස් තෝරා ගැනීම් සිදු කරන අතර අනෙක් පසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ සතුටු කිරීම වෙනුවෙන් බැසිල් පිළේ ළඟම කණ්ඩායම් බල අධිකාරියෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Facebook Comments