free hit counter

“වෙයි ෆෙන්ග්හේ” චීන ආරක්ෂක ඇමතිගේ ලංකා ගමනට පසුව චීන හමුදා වරාය නගරයට එන හැටි

“වෙයි ෆෙන්ග් හේ” කියන්නේ සරලව කිවොත් චීනයේ වර්තමාන ආරක්ෂක ඇමතිවරයා.අප්‍රේල් 27 වෙනිදා තෙදින නිළ සංචාරයකට ශ්‍රී ලංකාවට එන ඔහු චීන මහජන හමුදාවේ ජෙනරාල්වරයෙකු ද වෙනවා.1981 ආරක්ෂක ඇමති ධුරයේ සිටි “ජෙන් බිආඕ”හැර චීන සමුහාණ්ඩුව 1954 සිට තමන්ගේ ආරක්ෂාවට එදා මෙදා තුර පත්කළ ආරක්ෂක ඇමතිවරු සියල්ලන්ම හමුදා නිලධාරීන් වීම විශේෂත්වයක්.

වෙයි ෆෙන්ග් හේ පසුගිය කාලය පුරා ම විවිධ හමුදාමය සම්බන්ධතාවන් රාජතාන්ත්‍රිකව වර්ධනය ට යුහුසුලු වන ආකාරයක් දකින්නට තිබෙනවා.එයින් වැදගත් එකක් වන්නේ පකිස්ථානය සම්බන්ධව මැදිහත්වීමයි.චීන -පකිස්ථාන් ආර්ථික කොරිඩෝරයට සමගාමිව භූ දේශපාලනික නව ප්‍රවණතාවක් ලෙස 1970 ගණන් වල ආරම්භ වන සිනෝ-පකිස්ථාන් සම්බන්ධතා වල ඉදිරි පිම්මක් තැබීම කෙරේ හමුදා ශක්තින් වර්ධනය ගැන දෙරටම එකඟතාවන්ට පැමිණීම අසල්වැසි ඉන්දියාවට එතරම් සුබදායි වන්නේ නැහැ.

නව සේද මාවත ක් ආරම්භ කරමින් පකිස්ථානය සහ යුරෝපය දක්වා චීන ආර්ථික සබදතාවන් සහ නාවික ප්‍රවේශයන් තර කර ගැනීම් චීනයේ අපේක්ෂාවයි.එසේම ආසියානු භූ මුලෝපායික දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බවට චීන -පකිස්ථාන් හමුදා සහ නාවුක සහයෝගිතාවය ප්‍රබල සාධකය ක් වනු ඇති.පකිස්ථානය වෙනුවෙන් දැක් වූ විශිෂ්ඨත්වය වෙනුවෙන් හමුදා නිලධාරියෙක් වෙනුවෙන් ලබා දෙන නිශාන්-ඊ ඉම්ටියාස් සම්මානයෙන් චීන ආරක්ෂක ඇමතිවරයා පකිස්ථානයේ බුහුමනට පත් වීම මෙම සබදතාවන්හි ප්‍රබලත්වය පෙන්නුම් කරන්නක්.

චීන සබදතා වල ඊළඟ ඉලක්කය වන්නේ යුරෝපය යි.මාර්තු මාසයේ අවසන් දිනයෙන් අවසන් වූ ෆෙන්ග් හේ ගේ යුරෝපියානු සංචාරයට ග්‍රීසිය ,හංගේරියාව,සර්බියාව සහ උතුරු මැසඩෝනියාව ඇතුළත් උණා.එම රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ආරධනාව මත එහි සංචාරය කළ චීන ආමාත්‍යවරයා රටවල් අතර හමුදාමය සහයෝගිතාව,නිරායුධකරණය, න්‍යෂ්ටික අවිධිමත්කරණය, ඩ්‍රෝන හා ඒඅයි වැනි දියුණු මිලිටරි තාක්ෂණයන් සහ සයිබර් ආරක්ෂණ ඒකාබද්ධ කිරීම වැනි කරුණු සම්බන්ධව සාකච්ජා කළා.නාවුක අභ්‍යාස සහ ඒකාබද්ධ හමුදා පුහුණුවීම් ඉදිරියේ පැවැත්වීමටත් එකඟතා වලට එළඹීම මෙහි දී සිදු වුණා.

මෙහි දී පැරණි යුගොස්ලෝවියාව හෙවත් වත්මන් සර්බියාවේ බෙල්ග්‍රේඩ් පිහිටි චීන තානාපති කාර්යාලයට වසර විසි දෙකකට පෙර ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කිරීමේ අවස්ථාව ලෝකයේ ම අවධානය දිනා ගත්තා.

“ස්වාධිපත්‍ය බලය පවතින රටකට බලෙන් ඇතුළු වී පහර දීම කිසිසේත් අනුමත කරන්න බැහැ .ඒ වගේම චීනය ඉතිහාසයේ වූ පරාජයන් වෙත නැවත යන්නට සුදානම් නැහැ.අපි ඕනෑම මොහොතකට සුදානම් සහ ශක්තිමත්.”
ෆෙන්ග් හේ එම උත්සවයේදී මෙම ප්‍රකාශය කරන අතරේ ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස වල නිරත වෙමින් සිටියා.නේටෝ රටවල් වල මෙම උත්සාහය ගැන අමාත්‍යවරයා සදහන් කළේ “ඔබ චීන මුහුදට එනව නම් අප මධ්‍යධරණී මුහුදට යන සුදානම් “යනුවෙන්.

චීනය වෙත යුරෝපා සංගමය සම්බාධක පනවනු ලැබුවා. ඒ චීනයේ විශාලතම කලාපය වන ෂින් ජියැන්ග් හි උයිගර් මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමේ ජන සංහාරක චෝදනාවක් චීනය වෙත යොමු කරමිනුයි.උයිගර්, චීනයේ වයඹ දිග කලාපයේ පිහිටා තිබෙන අතර එය කාන්තාර දේශගුණික තත්ත්ව සහිත තෙල්,ස්වභාවික ගෑස් සහ ලෝකයේ 5 වන විශාලත ම කපු නිෂ්පාදනය ලබා දෙන වෙළඳ වටිනාකම අතින් ඉහළ සහ පිහිටීමෙන් මධ්‍යම ආසියාව සහ යුරෝපයට සමීපව පිහිටි වැදගත් මර්මස්ථානයකි.

එසේම ඉන්දියානු – චීන මායිමේ නැවත උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර ගැටුම් වලින් දෙපාර්ශවයේම භට පිරිස් මරණයට පත් වී තිබෙනවා.ටිබෙටයට පහළින් ඇති අරුණාචලම් ප්‍රදේශයේ චීනය නව නගරයක් නිර්මාණය කිරීමත් සමඟ ප්‍රදේශයේ ඇති වූ ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම හමුදා ඛණ්ඩ සීරුවෙන් තබා තිබෙනවා.

මේ අතරතුරේ චීන ආරක්ෂක ඇමතිවරයා ලංකාවට පැමිණෙන්නේ ඉතාම තීරණාත්මක සහයෝගයක් ලංකාව තුළින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතුය.කෙසේ වෙතත් අප්‍රේල් 12 වන දින චීනය ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ,චීනයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 01 ක ණය මුදලේ දෙවන වාරිකය ලෙසයි. සහ ෂි ජින් පින් චීන ජනාධිපතිවරයා දුරකතනයෙන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ අමතා ප්‍රකාශ කර තිබුණේ චීනය ලංකාව වෙනුවෙන් සහාය දැක්වීමට කිසි විටෙකත් පසුබට නොවන බව යි.මානව හිමිකම් කවුන්සිල යෝජනාවේදී ද ශ්‍රීලංකාවට පක්ෂ ව සිටි චීනය කොළඹ වරාය නගරය තමන්ගේ වෙළඳ මධ්‍යස්ථානය ලෙස පවත්වා ගෙන යාම නැවත්වීමට මේ මොහොතේ ශ්‍රීලංකාවට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.

එසේම ආරක්ෂක ඇමතිවරයාගේ පකිස්ථාන, යුරෝපා සබදතා අනුව යමින් ශ්‍රී ලංකාව ද චීන හමුදාමය සහ වෙළඳ මධ්‍යස්ථානයක් වීම නොවැලක්විය හැකි වේ. ඩොලර් බිලියන 5 ට අධික චීන ණය බරකින් පීඩා විදින ශ්‍රී ලංකාවට චීන හමුදා නොබෝ කලකින් රට තුළ සැරිසරනු බල සිටින්නට සිදුවනු ඇත.එය අධිකරණ හෝ පාර්ලිමේන්තු කිසිදු බලයකින් යටපත් කල නොහැකිය.චීන කොළණියේ සත්‍ය අසත්‍ය බව එවිට පසක් වනු ඇත.

එසේම ඉන්දියාව ,ඇමරිකාව අප ගැන දරණ මතය ද එවිට එළිපිට දැක ගත හැකි වනු ඇත.

Facebook Comments