free hit counter

ශිරන්ති, නවීන් පොලීසියේ කලිසම ගලවයි

ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් ජනතාව තුළ ඇතිව තිබෙන්නේ අද ඊයේ නොවේ. ඒ සඳහා හේතුවී තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසු අද දක්වාම පොලීසියේ ක්‍රියා කලාපය යුක්ති සහගත නොවන බවට දිගින් දිගටම චෝදනා එල්ලවීමයි. පොලිසිය නිතිය හා සාමය රැකියයුතු වුවත් නීතිය ඉදිරියේ සමාන බව සුරකින්නට පොලීසය අසමත් ව ඇති බවට උදාහරණ ඇති තරම් තිබේ.

නීතියට ඉහළින් කිසිවෙකුත් නැති බව කියන නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන රටවල සියලු මිනිසුන් සමානව පුරවැසියන් ලෙස සලකනු ලැබේ. ඔවුන්ගේ තරාතිරම, ධනය හෝ රැකියාව නීතිය ඉදිරියේ වෙනස් ලෙස සැළකීමට කිසි විටෙක සාධාරණ හේතුවක් ලෙස නොසලකයි.

නමුත් ලංකාවේ තත්ත්වය අතිශය පසුගාමී බව නොරහසකි. දේශපාලකයින්, ව්‍යාපාරිකයන්, හිතමිතුරන්ට නීතිය ඉදිරියේ වෙනස් කොට සැළකීම හේතුවෙන් ම ලංකාවේ පොලීසිය අතිශය දූෂිත ආයතනයක් බව ලාංකිකයන් බරපතළ විවේචනයකට ලක්ව තිබේ.

සේයාරුව පෙන්වා දෙන්නේ එවැනිම තත්ත්වයකි, පොලීසියේ ආරක්ෂාව යටතේ කොවිඩ් නීති නොතකමින් අගමැතිගේ බිරිඳ නුවරඑළියේ වසන්ත මල් දැක්මේ ත්‍යාග ප්‍රධානොත්සවයට සහභාගිවන අයුරු මෙහි දැක්වේ, ඇය පමණක් නොව ලංකාවේ හිටපු කීර්තිමත් ඇමතිවරයෙකුගේ පුතෙකු, පසුගිය ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු වූ නවීන් දිසානායකද සිය මුව ආවරණය නොමැතිව ජනතාව අතර ප්‍රසිද්ධියේ සැරිසැරීම එක් පසෙකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම අනෙක් පසින් ශ්‍රී ලංකා පොලිසියේද කලිසම ගලවා දැමීමක් හා මාන වේ.

මෙපමණක් නොව අද උදැසන බස්නාහිර පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේම දෙරණ රූපවාහිනී නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර හා තවත් බොහෝ දෙනෙකු මුව ආවරණ නොමැතිව ආගමික කටයුත්තකට සම්බන්ධ වී සිටින රූපවාහිනී දර්ශන නිකුත්ව තිබේ.

ලජ්ජා සහගත කාරණයනම් රූපවාහිනී නාලිකා මගින් මුව ආවරණ නොමැතිව ගමන් කරන සාමාන්‍ය මිනිසුන් පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට බරපත චෝදනා එල්ල කරමින් කටයුතු කරන ආකාරය සවස පුවත් මගින් පෙන්වා දීමයි.

ලංකාවේ නීතිය රකින ආයතනය, මෙන්ම ජනතාවට ආදර්ශයන් ගැන කියාදෙන දේශපාලකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානින් මෙලෙස කටයුතු කිරීම නීතිය වල්වැදුණු සමාජයක කැත මුහුණ ලෝකයට පෙන්වීමක් විනා ගෞරවයෙන් පිළිගත හැකි තත්වයක් නොවේ.

Facebook Comments