free hit counter

කොරෝනා රෝගීන් පිරි ඉතිරී යයි, කළුබෝවිල රෝහලේ ඔක්සිජන් ගැටළුවක්

කළුබෝවිල නැගෙනහිර කොළඹ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයද මේ වනවිට රෝගීන්ගෙන් පිරී තිබෙනවා. රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා මහත්මිය පවසන්නේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ රෝහල් 110 ම ‍කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන බවයි. මීට අමතරව රෝහලේ දැඩිසත්කාර ඒකකයද කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන්නේ.

මෙම රෝගීන් අතර ගර්භනී කාන්තාවන් 26 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙකුට ප්‍රතිකාර ලබාදීම සඳහා එක්මෝ යන්ත්‍රයක අවශ්‍යතාවය දැඩිව තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසනවා. මේ වනවිට මෙරට තුළ භාවිතා කරන්නේ එක්මෝ යන්ත්‍ර දෙකක් පමණි. ඉන් එක් යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය රෝහලේ තිබෙන අතර අනෙක් යන්ත්‍රය රිජ්වේ ආර්යා ළමා රෝහලේ භාවිතා කරනවා.

එක්මෝ යන්ත්‍රයක් පරිත්‍යාග කළහැකි අයෙකු සිටී නම් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට එය විශාල සහනයක් බවද මුදිතා පෙරේරා මහත්මිය පවසනවා.

මේ අතර කළුබෝවිල රෝහල් බළධාරීන් මේ දිනවල මුහුණ දී තිබෙන අනෙක් බරපතලම ප්‍රශ්නය වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුව කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමයි. කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දෛනික අවශ්‍යතාවය ඔක්සිජන් සිලින්ඩර් 150 ක් වන නමුත් මේ වනවිට රෝහල සතු ධාරිතාවය සිලින්ඩර් 80 කට සීමා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති අතර මැයි 15 වැනිදා වනවිට ඔක්සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අමාත්‍යංශය එකඟ වී තිබෙනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන්නේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන කොවිඩ් ආසාදිත රෝගීන් බහුතරයක් ශ්වසන ආබාධ සහිත බැවින් ඔවුන්ට ඔක්සිජන් ලබාදීම අනිවාර්ය වී ඇති බවයි.
-lnw –

Facebook Comments