free hit counter

(අ)වලංගු ඇඳිරිනීතිය – නීතීඥ අථිල අතාවුද

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ මොහොත වනවිටත් ඇදිරි නීතිය පණවා ඇත. එය හෙට උදෑසන 5ට ඉවත් කර සතියේ සාමාන්‍ය වැඩ කටයුතු සදහා අවකාශය සළසනවා ඇත. කෙසේ වෙතත් පසුගිය ඇදිරි නීති කාල වකවානුව පුරාම ඇදිරි නීතිය කඩකළ විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවවට ගන්නා ලද බව මාධ්‍ය වාර්තා කරන ලදී. මං මාවත් දෙස බැලූ විටද පෙනී යන කරුණක් වන්නේ මහජනතාවගෙන් බොහොමයක් ඇදිරි නීතිය තමන්ට අදාළ නොවන්නක් ලෙස සළකා කටයුතු කරන බවය.

ඇදිරි නීතියේ නීත්‍යානුකූල බව පිළිබදව ප්‍රශ්නය මතුවීම

ඇදිරි නීතිය පිළිබදව වෙනස් අර්ථකථනයක් අසන්නට ලැබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇදිරි නීති අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේය යන චෝදනාව පිට අත්අඩංගුවට පත්වීමත් සමගය. හිටපු මන්ත්‍රීවරයා අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා කියා සිටියේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින්නේ වලංගු ඇදිරි නීතියක් නොවන බවය. කෙසේ වෙතත් පොදු යහපත සළකා ඇදිරි නීතිය වලංගු නොවුවත් මහජනතාව ඊට අවනත වීමේ වැදගත් කමද ඒ මහතා අවධාරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ඇති නීති තත්වය කුමක්ද?

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ සැබැවින්ම ඇදිරි නීතියේ ඇති නෛතික වලංගුතාවය පිළිබදව නිරාකරණය කරගත යුතු ප්‍රශ්නයක් විචාරශීලීන් හමුවේ ඉතිරි වේ. එය සැබැවින්ම ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන්නේය යනුවෙන් මතයක් ජනගත කොට ඇදිරි නීතිය කැඩීමේ රැල්ලක් ඇතිකිරීම ඉලක්ක කරගත්තක් නොව සැබැවින්ම ඇදිරි නීතිය පණවන ආකාරය මගහැර නිරෝධායන ඇදිරි නීතිය නමින් හැදින්වෙන යමක් පැණවීමට ආණ්ඩුව කටයුතු කළේ මන්ද යන්න වටහා ගැනීමේ අරමුණින් සිදුකළ යුත්තකි.

ඇදිරි නීතියට අදාළ නීති තත්වය පිළිබදව මා මිත්‍ර නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා 2020 අප්‍රේල් 29 වැනි දින සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. එයින් උපුටා ගන්නා ලද කොටසක් පහත පරිදි වේ:-
උපුටාගැනීම……………….
ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය යටතේ ඇඳිරිනීතිය පැනවිය හැකි ආකාර 2කි.

(අ) පළමු ආකාරය නම් මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමයි.

මෙසේ ඇඳිරිනීතිය පැනවීම හදිසි අවස්ථාවක් එනම් රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කොට නැති අවස්ථාවක සිදුකරන්නකි. නමුත් ඇඳිරිනීතිය පැනවීම හෝ මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය යටතේ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීම කල හැක්කේ එවන් නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. පනතේ 21(2) වගන්තිය සමඟ කියවිය යුතු 2(3) වගන්තිය අනුව එසේ පනවන ඇඳිරිනීතිය හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග පිලිබඳව වහා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබිය යුතුය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති වර්තමාන තත්ත්වය වැනි අවස්ථාවකල එවන් නියෝග එනම් ඇදිරි නීති හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත්කර ඇත්නම් ජනාධිපති විසින් දින දහයක් තුල නැත්නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුය. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන, ඇඳිරිනීතිය, පිලිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් මෙම විධිවිධානවලට අනුකූලව නිකුත් කළ ඒවා නොවන්නේය.

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැතිවිට පනවනු ලැබිය හැකි ඇඳිරිනීතිය කඩකරන අයෙකුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියකදී ලඝු නඩුවිභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් බරපතල වැඩ සහිතව මසක කාලයකට සිරදඩුවම් සහ/හෝ රුපියල් සියයක දඩයකට යටත් කරනු ලැබිය හැකිය.

(ආ) ඇඳිරිනීතිය පැණවිය හැකි දෙවන ආකාරය නම් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය හා දෙවන කොටස යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමක් කර ඇති විටෙක එකී මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ නිකුත්කොට ඇති 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද හදිසි අවස්ථා රේගුලාසි වල එන 14 වන රෙගුලාසිය යටතේ ඇඳිරිනීතිය පැනවීමයි. හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් දින දාහතරක් තුල සම්මත කලහොත් පමණක් මසක කාලයක් සඳහා බල පැවැත්වේ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කලවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් සෑම නීතියක්ම හදිසි අවස්ථා රෙගුලාසිවලට යටපත් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ප්‍රකාරව විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් දින දහයක් තුල නැවත නිරායාසයෙන්ම කැඳවෙනු ඇත.

පොලිස් ඇඳිරිනීතිය

හදිසි අවස්ථා තත්ත්වයකදී එකී හදිසි අවස්ථා ⁣රෙගුලාසි වල 14 වන රෙගුලාසිය යටතේ ජනාධිපති විසින් නියෝගයක් මගින් ඇඳිරිනීතිය පැනවිය හැකි අතර එම නියෝගයේ නම්කරනු ලබන පුද්ගලයාගේ අවසරය මත පමණක් පුද්ගලයන්ට ඇඳිරිනීති කොන්දේසි මඟහැරිය හැකිය. බොහෝවිට මෙම නම්කරනු ලබන පුද්ගලයා යම් ප්‍රදේශයක පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෝ යම් කලාපයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස්පතිම විය හැකිය. පොලිස් ඇඳිරිනීතිය, යනුවෙන් බොහෝවිට හැඳින්වෙන්නේ මෙයයි. 2020 මාර්තු 20 සිට ඇඳිරිනිතිය පනවන විට ඇත්ත වශයෙන්ම මාධ්‍ය වාර්ථා කලේ පොලිස් ඇදිරිනීතිය ලෙසයි. කෙසේනමුත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර නැති බැවින් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පැනවෙන පොලිස් ඇඳිරිනීතියක් ලෙසද වර්තමානයේ ප්‍රකාශිත ඇඳිරිනීතිය සැලකිය නොහැක.

එසේනම් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇති ඇඳිරිනීතිය නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ හෝ නීත්‍යානුකූල වන්නේද?

සෞඛ්‍ය විෂයභාර ඇමාත්‍යවරිය අංක 2167ර/18 සහ 2020.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොරෝනා වෛරස් රෝගය හෙවත් කොවිඩ් – 19 නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ ගැනෙන නිරෝධායනීය රෝගයක් ලෙසින් නම් කලාය. පසුව අංක 2168/6 සහ 2020.03.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ඇමතිවරිය විසින් නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වන වගන්ති යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ ප්‍රකාශ කර ඇති පැරණි රෙගුලාසි පහක දැක්වෙන, “නිසි බලධාරියා(proper authority)” යනු කවරෙක්දැයි යන්න සංශෝදනය කරමින්, මාර්තු 25 ගැසට් පත්‍රය මගින් නිසි බලධාරියා යන්නට පුද්ගල කොට්ඨාශ කීපයක් ම අන්තර්ගත කර ඇති අතර සමස්ථ ශ්‍රී ලංකාව සඳහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (සෞඅජ) නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.

නිසි බලධාරියාට ඇදිරි නීතිය පැණවිය හැකිද?

නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනතේ 3 වන වගන්තියේ මගින් ආඥාපනතේ 2 වගන්තිය යටතේ රෙගුලාසි සකස් කළ හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේවත් අමාත්‍යවරයාට සාමාන්‍ය ඇඳිරිනීති තත්වයක් යටතේ මෙන් පුද්ගලයන්ගේ ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන කිසිදු රෙගුලාසියක් මේ දක්වා පනවා ඇත්තේද නැත.
මේ හේතුව නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඇඳිරිනීතිය පැනවීමේ නියෝග කිසිවක් නිකුත් කල නොහැකි අතර එසේ කර අත්තේද නැත. ඇදිරිනීතිය පැනවීම හුදු ජනාධිපති මාධ්‍ය නිවේදනවලට සිමාවී ඇත්තේ මේ සියලු කරුණු යටතේය.

නිසි බලධාරියා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරනු ලැබුනේ ⁣මාර්තු 25වනදා බැවින් නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ එහි කිසිදු රෙගුලාසියක් යටතේ මාර්තු 20 සිට 25 දක්වා ඇඳිරිනීතිය වැනි තත්වයක් ප්‍රකාශයටපත් කිරීමට කිසිදු නෛතික හැකියාවක් පැවතියේද නැත. ඒ අනුව නිරෝධායන ඇදිරිනීතිය යනුවෙන් පොලීසිය දැන් හඳුන්වන තත්ත්වය එම දින කිහිපයට අදාලකරගත නොහැකිය. එනිසා අඩු තරමින් පොලීසියේ දුර්වල නීති තර්කය නිවැරදියයි උපකල්පනය කල විටකද එම දින කිහිපය සඳහා ප්‍රකාශයට පත්කල ඇදිරි නීතිය එම තර්කය යටතේවත් නීත්‍යානුකූල නොවේ.

දඩුවම පවා වෙනස්

නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි උල්ලංගනය කල අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හා/හෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය. ඒ අනුව නිරෝධායන සීමාවන් හා ඇදිරිනීතිය හාත්පසින්ම වෙනස් ආකාරයේ බලපෑම් ඇතිකරන කොන්දේසි පනවයි.

මේ අනුව ජනාධපති මාධ්‍ය නිවේදන හරහා පනවා ඇති කිසිදු ඇඳිරි නීතියකට නෛතික වලංගුතාවයක් නැත.”
……….උපුටාගැනීම අවසන්

අනිල් ජාසිංහගේ ලියුම

කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධව ඉහත කී පරිදි මුළු දිවයිනටම බලපාන පරිදි නිසි බලධාරියෙකු ලෙස පත්කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් මත කටයුතු කරන බව පෙනී යයි. මෙකී 2018 මාර්තු 18 දිනැති ලිපිය ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියන්නේ ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාවන් තුලදී එම ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශයන් තුල එම ඇදිරි නීති ප්‍රකාශය මගින් ඉඩ ලබා දී ඇති සේවාවන් පවත්වාගෙන යාම සදහා හැර සෑම තැනැත්තෙකුම තම නිවෙස් පරිශ්‍රය තුල රැදී සිටිය යුතු බවට නියම කරන බවයි.

ඒ අනුව පොලීසිය විසින් ගොඩනැගීමට අපේක්ෂා කරනු ලබන තර්කය වන්නේ ඉහත සදහන් කළ පරිදි මෙකී 2020 මාර්තු 18 දිනැති ලිපිය ඉහත කී නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසියක් වශයෙන් හුවා දක්වමින් එකී රෙගුලාසිය කඩකිරීම හේතුවෙන් එසේ කඩකරනු ලබන තැනැත්තාට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හාරැහෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය යන විධිවිධානය අදාළ කරගැනීම බව පෙනී යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට එවැනි බලයක් නැත

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පුද්ගලයන්ගේ ගමන් බිමන් සීමා කිරීම සදහා නියෝග පැණවිය හැකි කිසිදු බලයක් කිසිදු තත්වයක් යටතේ ආරෝපණය වන බවක් ශ්‍රී ලංකාවේ කිසිදු වලංගු නීතියක් යටතේ සදහන් නොවන බව අවධාරණය කළ යුතුය.

නිරෝධායන ඇදිරි නීතිය වචනයක් පමණි

ඒ අනුව දැනට පවත්නා පොලීසිය විසින් මුළින් පොලිස් ඇදිරි නීතිය ලෙස හදුන්වා පසුව නිරෝධායන ඇදිරි නීතිය ලෙස නම් කරන ලද ඇදිරි නීතිය ශ්‍රී ලංකාවේ වලංගු කිසිදු නීතියක් යටතේ නෛතික වලංගුතාවයක් සහිතව පණවන ලද්දක් නොවන බව පෙනී යයි.

ආණ්ඩුව එහෙම කළේ ඇයි?

කෙසේ වෙතත් මෙවන් බරපතළ වාතාවරණයක් යටතේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ඇදිරි නීතිය පැණවීම අත්‍යවශ්‍ය වී ඇති මොහොතක ආණුඩව නෛතික බලධාරීත්වයක් සහ වලංගුතාවයක් ඇති වන පරිදි ඇදිරි නීතිය පැණවීමට උත්සුක නොවූයේ මන්ද යන්න විමසා බැලිය යුතුය. එයට දියහැකි පිළිතුරු 2ක් ඇත.

(අ) පළමු පිළිතුර නම් අවශ්‍යතාවය මත මෙම නීතිය පැණවූ විට කිසිදු පාර්ශවයක් එය උල්ලංඝනය නොකරනු ඇත උල්ලංඝනය කළත් එහි නෛතික වලංගුතාවය අභියෝගයට ලක් නොකරනු ඇත යනුවෙන් ආණ්ඩුවට පවත්නා විශ්වාසයයි.

එයට යම් සාධාරණ පදනමක් ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද නීති යන සංකල්පය බලැත්තවුන් අභ්‍යාස කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. මන්ද එහි ඇතිවන සුළු අඩුපාඩුවක් නීතියේ අති දැවැන්ත හිඩැසක් නිර්මාණය කර නීතියේ ආධිපත්‍යය බිද දැමිය හැකි නිසාවෙනි. එසේ හෙයින් කුමන හෝ තත්වයක් තුල නීතිය මගින් ලබාදී ඇති බලතල ඉක්මවා යමින් ක්‍රියා කිරීම වැලැක්වෙන ආකාරයට නීතිය අර්ථකථනය කළ යුතු බව කියැවේ. මන්ද අවස්ථානුකූල නොකර හැරීම හෝ නොසැළකිල්ලක් අනාගතයේ මහත් විනාශයකට පාර කැපිය හැකි බැවිනි.

(ආ) දෙවැනි සම්පූර්ණයෙන්ම දේශපාලනික වේ. එනම් දැනට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති තත්වයක් තුල යම් හෙයකින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර නීත්‍යානුකූල ඇදිරි නීතියක් පණවන ලද්දේ නම් ඒ හරහා දින 10ක් ඇතුලත අනිවාර්යයෙන්ම දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැදවීමට සිදුවන තත්වයක් උද්ගත වේ. මාගේ මිත්‍ර නීතිඥ සංජය විල්සන් ඉහත සදහන් කරන පරිදි පාර්ලිමේන්තුව එවිට නිරායාසයෙන් කැදවෙන්නේය. එය විවිධ හේතූන් මත ආණ්ඩුවේ දේශපාලන අභිලාසයන් සමග ගැටෙන තත්වයකි.එබැවින් හදිසි තත්වයක් තුල පාර්ලිමේන්තුව කැදවීමට සිදුවන තත්වයක් නිර්මාණය කරගනිමින් වඩා විශාල අර්බුදයක් නිර්මාණය කරගන්නවාට වඩා නීත්‍යානුකූල වුණත් නැතත් බොහෝ දෙනා මේ අවස්ථාවේ ගරු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ඇදිරි නීතිය පැණවීම පමණක් නීතියෙන් පිටපැන සිදුකිරීමට ආණ්ඩුව කල්පනා කළා විය හැක.

මේ හරහා ඇතිවන ගැටලු

ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන අන්දමින් පැණවීමෙන් ඇතිවන පළමු ගැටලුව වන්නේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අයට තමා අත්අඩංගුවට ගන්නා ලද නීතිය වලංගු හා නීත්‍යානුකූල එකක් නොවන බවට අභියෝග කළ හැකි වාතාවරණයක් නිර්මාණය වීමය. බොහෝ දෙනෙකු එය අභියෝගයට ලක්කිරීමට වඩා ප්‍රායෝගිකව එම නිෂ්ප්‍රමාණික දඩය ගෙවා ගෙදර යාමට කැමැත්තක් දැක්වීම ප්‍රායෝගික ප්‍රවණතාවය විය හැකි වුවද අවශ්‍යනම් එය අභියෝග කිරීමටද නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමටද පුද්ගලයන්ට ඉඩකඩ විවර වේ.

අනෙක් ගැටලුව මේ හරහා ස්ථාපනය වන අතිශය වැරදි පූර්වාදර්ශයයි. එනම් මෙතෙක් කල් ඇදිරි නීතිය පැණවිය හැක්කේ ව්‍යවස්ථාපිත නීති වලට අනුකූලව පමණක් බවට පැවැති තත්වය මේ හරහා ඛණ්ඩනය වී ජනාධිපති මාධ්‍ය නිවේදන මගින් ව්‍යවස්ථාපිතව බලය පවරා නැති කාරණා සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව ඇදිරි නීතිය පැණවිය හැක්කේය යනුවෙන් වැරදි නියාමයක් මේ හරහා ස්ථාපිත වන්නේය. ඒ අනුව රටේ දේශපාලනික නොසන්සුන්කාරී තත්වයකදී විරුද්ධ මතවාද මර්දනය කිරීම රජයේ අවශ්‍යතාවය වන අවස්ථාවකදී පවා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඇදිරි නීතිය පණවා එය පවත්වාගෙන යාමට පොලීසිය හා ත්‍රිවිධ හමුදා සහය දිය යුත්තේ මන්ද යන කාරණයට හේතුවක් ලෙස මෙම අවස්ථාව උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව විධායකයට ලැබේ. එය විධායකය අතට අතිශය භයානක ආයුධයක් දීම හා සමාන වේ.

කණගාටුයි

එබැවින් මෙම තත්වය වහාම නිවැරදි කිරීම සදහා වෘත්තීය සංගම් ඇතුලු මේ පිළිබදව ඇති තතු දත් පිරිස් හඩ නැගීම සහ බලපෑම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු නිළ සිහි කැදවීමක් හෝ දැන්වීමක් එකී පාර්ශව වෙතින් රජය වෙත යොමු නොවීම කණගාටුවට කරුණකි.

නිවැරදි කරන එකක් නෑ

කෙසේ වෙතත් කවුරුන් දැනුවත් කළද ආණ්ඩුව මෙම වරද නිවැරදි කිරීමට දැන් පෙළඹෙනු ඇතැයි සිතීම උගහටය. මන්ද ⁣එසේ කළහොත් එය වැරදි නීතියක් මත කටයුතු කළ බව පිළිගැනීමකි වන බැවිනි. මෙම නීත්‍යානුකූල නොවන ඇඳිරිනීතිය මත මේ වන විට තිස්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන දඩද අයකරගෙන අවසන්ය. එබැවින් ඇඳිරි නීතිය අනීතික බව ආණ්ඩුව පිළිගතහොත් එම සියළුම අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූල නොවන තත්වයට පත්වනවා පමණක් නොව අයකරගත් දඩ මුදල්ද නීත්‍යානුකූල නොවන ඉපයීමක් බවට පත්වේ. එය විශාල ගැටලුවකි.

කවුරුහරි කළ යුතුයි

එම තත්වය කෙසේ වුවද මේ මොහොතේ කවර හෝ පාර්ශවයක් ඉදිරිපත් වී මෙම නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර අධිකරණ තීන්දුවක් ලබාගෙන තිබීම නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අතිශයින් වැදගත් වනවා ඇත.

Facebook Comments