free hit counter

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පනවා ඇති අසාධාරණ බදු වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු!

කොවිඞ්-19 වසංගතය අභියස වත්මන් ආණ්ඩුව ජනතා කේන්ද්‍රීය මැදිහත්වීමකට වඩා තම බල ව්‍යාපෘතිය වෙනුවෙන් රජයේ යාන්ත්‍රණය, මාධ්‍ය සහ මිලිටරිය භාවිතා කරමින් සිටින බව දැන් ඉතා පැහැදිළි කරුණකි. වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවේශය පිළිබඳව ප්‍රශ්න තිබුණද වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප මුල් කාලයේ වසංගතයේ ස්වභාවය සහ තරම හේතු කොට ගෙන විවේචනවලට වඩා අප ක්‍රියාත්මක වූයේ එය මැඩලීමේ ක්‍රියාවලියකට දායකවීමටය. එහෙත් ආණ්ඩුව හුදෙක්ම බලලෝභී ක්‍රියාවලියක නිරතව සිටින බවත්, ඒ වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ජනතාව අන්ත අසරණ තත්වයකට වුවද ඇද දැමීමට සුදනම් බවත් දිගින් දිගටම පෙන්නුම් කරමින් තිබෙන තත්වයක් තුළ කොරෝනා මැඩලීමේ ක්‍රියාවලියට දායකවීම පමණක් ප්‍රමාණවත් නොවන බව අපගේ නිරීක්ෂණය වී තිබේ.

ආණ්ඩුව මුල් කාලයේදී ජනතාවට යම් සහනයක් ලබාදුන්නේද හුදෙක් ඡන්දයක් ඉලක්ක කර ගෙන බව පැහැදිළිය. එම සහන මගින් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් භාණ්ඩ මිළ පහත වැටී පොදු ජනතාවට සහන ලැබෙනු ඇතැයි කියා සිටියද එවැනි සහනයක් ජනතාවට ලැබුණේ නැත. පසුව 2020 මාර්තු 17 පරිප්පු හා සැමන්වල මිළ අඩු කළ අතර ඉදිරියේදී තවත් සහන ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙත් වෙනත් සහන නොලැබුණා පමණක් නොව ලබාදුන් සහනය එතරම් කල් පැවතියේද නැත. ඒවායේ මිළ පැවතියාටත් වඩා ඉහළ ගියේය.

ආණ්ඩුව රුපියල් බිලියන 200ක් මුද්‍රණය කොට පවුලකට රු.5000 බැගින් බෙදාදීමෙන්ද බහුතර ජනතාවක් මුහුණ දෙමින් සිටි ආර්ථික ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළියමක් සැලසුනේ නැත. එම ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයන් මත කෙරුණක් බවට පත්වීමේන් රාජ්‍ය සේවකයන් ඉතා අපහසුතාවයකට පත් වුනා පමණක් නොව, සහන සැලසීම අවශ්‍ය පරිදි සිදු වුයේද නැත. ප්‍රජා මට්ටමින් ලැබෙන තොරතුරු අනුව, සහන ක්‍රියාවලියෙන් අවශ්‍යතා ඇති බොහෝ පිරිස් මගහැරී ඇත. ඒ අතර රුපියල් 1500ක ආධාර මුදලක් ලබා ගන්නට ගොස් කතුන් තිදෙනෙකු තෙරපීමෙන් මිය යාමේ හා තවත් පස් දෙනෙකු රෝහල්ගත කිරීමේ මාලිගාවත්ත සිද්ධියෙන් පෙන්නුම් කරන්නේද රටේ ජනයා මොන තරම් ආර්ථික දුෂ්කරතාවකට පත්ව තිබෙනවාද යන්නය.

විය යුතු පරිද්දෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය, එජාප-ශ්‍රීලනිප හවුල් පාලනය ඇතුලු පූර්ව පාලනයන් විසින් ජනිත කරන ලද හා උත්සන්න කරන ලද සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න තව තවත් තීව්‍ර කරමින් පවත්වා ගෙන යනවා විනා ගෝටාභය පාලනයටද අන් විකල්පයක් නැති බව ගතවූ මාස හය තුළ පෙන්නුම් කරමින් තිබේ. ගොඩගැසී තිබෙන ණය කන්දරාව ගෙවීම ගැන සිතන්නටවත් බැරිය. 2020 ගෙවිය යුතුව තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.8ක් එනම් රුපියල් බිලියන 870කි. මේ වන විටත් ආණ්ඩුව ණය හිඟමනේ යාම පටන්ගෙන ඇත. ඒ අතර 2019ට වඩා ආණ්ඩුවේ ආදායම 30%කින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.

කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා ආරම්භයේදීම ගත යුතු පියවර ගැනීමට ආණ්ඩුව ප්‍රමාණවත් තරම් කඩිනම් නොවූවා පමණක් නොව ඒ සඳහා අවශ්‍ය කරන දුර දක්නා බවද නොවීය. ආණ්ඩුවේ ප්‍රමුඛතාවය වූයේ කොරෝනා මර්දනය නොව කඩිනම් මැතිවරණයකට ගොස් තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමය. එමෙන්ම වෙනත් සාර්ථකව කොරෝනා මර්දනය කළ අසල්වැසි රටවල ආදර්ශයන් ලබාගැනීමටද ආණ්ඩුව සමත් වූයේ නැත.
මේ වනවිට යම් පාලනයකට යටත්ව තිබුණත් සිදු වූයේ පහසුවෙන් වළකා ගත හැකිව තිබූ කොරෝනා ව්‍යාප්ත වීම හා විශේෂයෙන්ම රටේ ආර්ථික ජීවිතය වඩාත් නරක අතට හැරීමය. දස දහස් ගණන් ලක්ෂ ගණන් දෙනාට ජීවත්වීමේ මාර්ග අහිමිවීමය. රටේ බොහෝ දෙනෙකුට ජීවත්වීම අතිශයින්ම අමාරුය. බොහෝ දෙනෙකුගේ අදායම් මාර්ග වැසීගොස්ය. වෙළෙඳපොළ නීති ප්‍රකාරව බඩු මිළ දවසින් දවස ඉහළ නගිමින් පවතී. ජනතාවගේ ආණ්ඩුවක් නම් වහාම මීට පිළියම් යෙදිය යුතුය. මෙහිදී ද දක්නට ලැබෙන්නේ නිසි පිළියම් යෙදීමට පියවර ගන්නවා වෙනුවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. වෙළෙඳපොළ යම් පාලනයකට යටත් කරනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ කුමක්ද?

බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ආදියෙහි බදු වැඩිකර තිබේ. අල, පරිප්පු, සැමන්, හාල්මැස්සෝ, මිරිස් කුඩු, සූදුරු මාදුරු, සුදුළුෑණු, රතුළුෑණු, පොල්තෙල් ඇතුළු තවත් භාණ්ඩ රාශියකට බදු ගසා තිබේ. ජනවාරි මාසයේ ඉවත් කළ ඇතැම් බදු යළි පනවා තිබේ. ලෝකයේ ඉන්ධන මිළ පහළම තැනකට වැටී තිබුණද මෙරට ඉන්ධන මිළෙහි අඩු කිරීමක් ගැන සාකච්ඡාවක් නැත. ඒ වෙනුවට පසුගියදා ගෑස් මිළ (12.5 සිලින්ඩරයක)ද රු. 195 කින් වැඩි කර තිබේ.
රටේ පාලනය බාරගත් වත්මන් ආණ්ඩුව තවදුරටත් බලය ඉල්ලා සිටින්නේ නම් ආර්ථිකය ගොඩ ගැනීමේ හා ජනතාව ජීවත් කරවීමේ සමස්ත සැලස්මක් සහිතව වැඩ කළ යුතුය. එහෙත් එවන් සැලස්මක් සහිතව වැඩ කරන බවක් පෙනෙන්නට නැත. පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුව කරමින් සිටින්නේ පරණ පුරුදු සෙල්ලමය. ආණ්ඩුව ණය සිඟාකමින් කරන්නට යන්නේ කුමක්ද? කිලෝ මීටර 161 පමණ දිග අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටීමය. මේ සඳහා වැය කිරීමට යන මුදල ඩොලර් බිලියන 5ක් නැතිනම් රුපියල් බිලියන 975ක් තරම් විශාල මුදලකි. දැනටමත් චීන සමාගම් ගණනාවක් මේ ඉදිකිරීම් සඳහා තෝරා ගෙන ඇති අතර ණය ගැනීම සඳහා සාකච්ඡා අරඹා තිබේ. මෙම ණයද ගිණි පොලියට ගැනීමට සිදුවීමද බරපතළය. මෙහි ප්‍රතිඵලය වනුයේද ඉදිරි කාලයේදී තවත් විශාල වශයෙන් ජනතාව මත බදු බර පැටවීමට ආණ්ඩුවට සිදුවීමය.

පවුල සහ තම හිතවතුන්ගේ අවශ්‍යතාවයන් නොව, ආණ්ඩුවක වගකීම වන්නේ ජනතාවගේ සුභසිද්ධිය බව මෙම පාලනයටද තේරුම් කරදිය නොහැකි බව නැවත නැවතත් ඔප්පුවෙමින් තිබේ. තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා ඕනෑම බරක් ජනතාව මත පැටවීමට ආණ්ඩුව සුදානම්ය. එමනිසා මෙයට එරෙහිව ගත යුතු සියලු පියවර ගන්නට අප සුදානම් බව කියා සිටිමු. මෙම මොහොතේ ආණ්ඩුව කළ යුතුව ඇත්තේ කොවිඞ්-19 වසංගතය මැඩලීමටත්, එයින් ජනතාවට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික ව්‍යසනයෙන් ජනතාව ගලවා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය කරන රටේ ආර්ථික ව්‍යුහය සාධාරණ සහ ජනතාහිතකාමීව ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රියා කිරීම මිස හුදෙක් බලය පසුපස හඹායෑම හා ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීම නොවන බව අප අවධාරණය කරන අතර අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති අසාධාරණ බදු වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.

එසේම මෙතෙක් රට පාලනය කළ මෙම අසාර්ථක පාලකයින්ගෙන් මීට වෙනස් යමක් බලාපොරොත්තු වන්නට නොහැකි බැවින් ජනතාව කළ යුත්තේ විකල්පයක් වටා එක් රොක්වීම බවත් මේ මොහොතේ විකල්පයේ කාර්යභාරය ඉටු කළ හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බැවින් අප වටා එක් වෙන ලෙසත් ජනතාවට අවධාරණය කර සිටිමු.

ජාතික ජන බලවේගය
2020.05.27

Facebook Comments