free hit counter

කුඩා අයිස් යුගයේ පළමු ඛේදවාචකය – මහා සාගතය

කුඩා අයිස් යුගය ආරම්භයත් සමග අස්වැන්න අඩු වීම මහා සාගතයකට මග පෑදීය.1300 සිටම දිගින් දිගටම මධ්‍යතන යුගයේ අවසාන කාලය දක්වාම යුරෝපය විවිධ සාගතයන්ගෙන් පිඩා වින්දේය. 1315 -17 කාලයේ ඇතිවූ සාගතය ඉතා දරුණු විය. 1315 වසන්තයේ දී යුරෝපයේ බොහෝ ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස තද වැසි ආරම්භ විය. වසන්තය හා ගිම්හානය පුරාම දිගටම වැසි ඇද හැළුණු අතර උෂ්ණත්වය අවම අගයක පැවතුනි. එවැනි තත්වයන් යටතේ ධාන්‍ය වගා වර්ධනය වීමට නොහැකි වූ අතර එය පුළුල් ලෙස බෝග අසාර්ථක වීමට හේතු විය.සතුන් සඳහා පිදුරු සපයාගත ගැනීම කළ නොහැකි බැවින් සතුන් සඳහා සඳහා ආහාරයක් නොතිබිණි.ගෘහාශ්‍රිත සතුන් දැක ගත නොහැකි විය. කුකුළන් මෙන්ම බිත්තර සොයා ගැනීමට නොහැකි විය. ලන්ඩන් නගරයේ කුසගින්නෙන් පිඩාවිඳින ගැහැණු පිරිමි දැක ගත හැකි වූ අතර වීදිවල කුසගින්නෙන් මියගිය අයගේ මළ සිරුරු වැටී තිබුණි.

ආහාර මිල ඉහළ යාමට පටන් ගත්තේය. එංගලන්තයේ ආහාර මිල ගණන් වසන්තයේ සිට ගිම්හානයේ මැද වන විට දෙගුණයක් විය. තෙත් කාලගුණය තුළ ලුණු ලබා ගැනීම දුෂ්කර විය. මස් වියළා තැබීම සඳහා ලුණු අත්‍යවශ්‍ය විය.එහි මිල සිලිං 30 සිට 40 දක්වා වැඩි විය. තිරිඟු පිටිමිල මුලින් සීලිං 20 ට ද ඉක්මණින් 30 ටද නැවත 40 ට ද ඉහළ ගියේය.පාන් සැදීම කළ නොහැකි විය. බෝංචි, කඩල,ඕට්ස්, බාර්ලි මිල ද ඉහළ යාම ආරම්භ විය.ධාන්‍ය ගබඩා රාජකීයයන්, ස්වාමිවරුන්, වංශාධිපතීන්, ධනවත් වෙළෙන්දන් සහ පල්ලියට පමණක් සීමා විය. මිනිසුන් වනාන්තරවල ආහාරයට ගත හැකි මුල්, තණකොළ, ඇට වර්ග සහ පොතු අස්වැන්න නෙළා ගැනීමට පටන් ගත්හ.මේ කාලයේදී මිනිසුන් මිනිමස් කෑමට ද පෙළඹුණි.

වංශාධිපතීන්ගේ සිට ගොවීන් දක්වා සමාජයේ සියලුම කොටස් වලට බලපෑම් එල්ල වූ නමුත් විශේෂයෙන් ජනගහනයෙන් 95% ක් නියෝජනය කළ, සංචිත ආහාර සැපයුම් නොමැති ගොවීන්, සතුන් ඝාතනය කිරීම, බීජ ධාන්‍ය අනුභව කිරීම, ළමයින් අතහැර දැමීම සහ මහලු අය අතර තරුණ පරම්පරාවට ස්වේච්ඡාවෙන් ආහාර ප්‍රතික්ෂේප වැනි ක්‍රියාමාර්ගයන්ට එළඹිණි.වංශාධිපතීන් නිවාස තුළට සිමා වී තම සංචිත වල ඇති ආහාර භුක්තිවිඳිමින් කාලය ගත කල අතර, ඔවුන්ගේ බලය වසංගතය විසින් අඩපණ කරන ලදී.

ශීතල කාලගුණය දිගටම පැවතුන බැවින් සාගතය 1317 දී උග්‍ර විය. අවසාන වශයෙන්, එම ගිම්හානයේදී වර්ෂා තත්ත්වය තරමක් අඩු වුව ද ශීතල දිගටම පැවතුණි. ඒ වන විට මිනිසුන් නියුමෝනියාව, බ්‍රොන්කයිටිස් සහ ක්ෂය රෝගය වැනි රෝගවලින් දුර්වල ව සිටි අතර බීජ තොගයෙන් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබුණි.1325 වන තෙක් ආහාර සැපයුම සාපේක්ෂව සාමාන්‍ය මට්ටමට නොපැමිණියේය. බොහෝ නගරවල ජනගහනයෙන් 10-25% ක් පමණ මියගියේය.

සාගතය යුරෝපයට පමණක් නොව චීනයටද දිගින් දිගටම කරදර කළ අතර 1333 සිට 1337 දක්වා වූ සිව් වසර චීනය පුරා නොසිතූ ලෙස දුක් විඳින කාල පරිච්ඡේදයක් විය. ඊළඟ දශකය තුළ යුරෝපයට පැමිණි “කළු මරණය” ව්‍යසනයේ බීජ වපුරා ඇත්තේ මේ යුගයේ දී ය. සාගතය හා වසංගතය මුළු රටම විනාශ කළේය. අධික වර්ෂාව නිසා විනාශකාරී ගංවතුර ඇති වූ අතර චීන වාර්තාවලට අනුව කියැං අසල්වැසි ප්‍රදේශවල පමණක් 4,000,000 ක් සාගින්නෙන් මිය ගියහ. 1333 දී මධ්‍යම චීනයේ ” කළු මරණය” වසංගතය ආරම්භ වූ අතර එය ඉතාලි වෙළඳුන් විසින් ඉතාලියටත්, මුළු යුරෝපටමත් ගෙන ගියේය.

සාගතය වැඩවසම් සමාජයේ පදනම් බිඳ දැමීමට දායක විය, සමාජයේ පැවති ස්ථාවරභාවය දෙදරා යන්නට පටන් ගත්තේය.වංශාධිපතින් කෙරෙහි විශ්වාසය අඩුවන්නට පටන් ගත්තේය.

Facebook Comments