free hit counter

ලොව වර්ණවත්ම ඇමති මණ්ඩලය

පසුගියදා නවසීලන්තයේ පැවති මහා මැතිවරණයෙන් 40 හැවිරිදි ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් ලැබීය. 1996 දී හඳුන්වා දෙන ලද සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් පසු පළමු වතාවට තනි පක්ෂයක් ලෙස බලය ලබාගන්නට කම්කරු පක්ෂය මෙවර සමත් විය.

මෙවර තේරීපත් වූ නවසීලන්ත පාර්ලිමේන්තුවෙන් අඩකට වඩා කාන්තාවන් වන අතර, 10% ක් පමණ LGBTQ ප්‍රජාවගෙන් තේරී පත් වීම විශේෂත්වයක්.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩර්න් අද ලෝකයේ සුවිශේෂීම නායිකාවක් ලෙස සළකනවා, 2019 මාර්තු 15 වනදා ක්‍රයිස්චර්ච් නුවර ඉස්ලාම් පල්ලියකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ඇයගේ ක්‍රියාකලාපය ලෝක මට්ටමේ ඇගයුමට පාත්‍රවූවා, එසේම අද ලෝකය කොරෝනා වසංගතය සාර්ථකවම පාලනය සම්බන්ධයෙන් නවසීලන්තය පැසසුම් ලබා තිබෙනවා.

20 දෙනෙකුගෙන් සමන්විත වන නවසීලන්ත කැබිනට් මණ්ඩලයට අමතරව කැබිනට් නොවන අමාත්‍ය ධූර හයකින් නව ඇමති මණ්ඩලය සකස් ව තිබෙනවා.

සමලිංගික නියෝජ්‍ය අගමැති

නවසීලන්තයේ නව නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් එම ධුරය දැරූ පළමු විවෘත සමලිංගිකයා වනු ඇත. 2017 සිට රොබට්සන් නවසීලන්තයේ මුදල් ඇමති ලෙස කටයුතු කළ අතර මෙවරද ඔහු මුදල් ඇමති ලෙස කටයුතු කරනු ඇත .

“සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයින්ගෙන් මට ඊමේල් සහ පණිවිඩ විශාල ප්‍රමාණයක් ලැබෙනවා ඔවුන් ඉල්ලා සිටින්නේ ලෝකයට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන ලෙසයි” රොබට්සන් පවසයි.

ස්වදේශික මාඕරි ඇමතිවරු

ආඩර්න් මහත්මිය ස්වදේශික මාඕරි නීති සම්පාදකයින් ගණනාවක් ඉහළ තනතුරු සඳහා පත් කර ඇති අතර, විදේශ ඇමති නැනියා මහූටා සහ ළමා ඇමති කෙල්වින් ඩේවිස් ද ස්වදේශික මාඕරි ජාතිකයන්.

හරිත ඇමතිවරු

ජසින්ඩාගේ කම්කරු පක්ෂය තමන්ට පාර්ලිමේන්තුවේ බලය ලැබී තිබුන ද හරිත පක්ෂය සමඟ “සහයෝගිතා ගිවිසුමක්” අත්සන් කළ අතර එහි සඳහන් වන්නේ දේශගුණය, පරිසරය සහ ළමා යහපැවැත්ම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරන බවයි.

එසේම හරිත පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබා දී ඇත.

ඉන්දියානු – මලයාලම් ඇමතිනිය

මලයාලම් මව්පියන්ටදාව ඉන්දියාවේ චෙන්නායි හි උපත ලද 41 හැවිරිදි ප්‍රියංකා රාධක්‍රිෂ්ණන් ට ද කැබිනට් නොවන ආමාත්‍ය අමාත්‍ය ධුරයක් හිමිව තිබෙනවා, ඇයට විවිධ ජනවර්ගයන් මෙන්ම තරුණ කටයුතු පිළිබඳ වගකීම පවරා තිබෙනවා.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් අද ලෝකයේ විශිෂ්ඨම නායකාවක් ලෙස විවාදයකින් තොරව පිළිගන්නවා. ඇය විසින් පත් කළ නව ඇමති මණ්ඩලය විවිධත්වය පිළිබඳ කදිම නිදසුනක් ලෙසයි ලෝකය සලකන්නේ. තරුණ ස්ත්‍රියකට කෙතරම් ශක්තියක් ඇතිද යන්නට ඇය මනා උදාහරණයක්.

පසුගිය කාලයේ නිවැරදිව කටයුතු නොකළ ඇමතිවරු කිහිප දෙනෙකුටම මෙවර තනතුරු නොදීමට කටයුතු කළ ජසින්ඩා පවසන්නේ තම රජයේ ප්‍රමුඛතාවය වනුයේ COVID-19 ආරක්ෂා වීම හා ආර්ථික ප්‍රකෘතිමත් කිරීම බවයි.

“ඉදිරි වසර තුන නවසීලන්තයට ඉතා අභියෝගාත්මක වනු ඇත. ලෝක පර්යාය නරක අතට හැරීමත් සමඟ COVID ලොව පුරා ඇති කරන බලපෑමෙන් අප නිදහස් නොවනු ඇත,” ඇය වෙලින්ටන්හි වාර්තාකරුවන්ට පැවසුවාය.

Facebook Comments