free hit counter

සෞදියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම ආරම්භ වේ

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය පවසන්නේ සංක්‍රමණික සේවකයින් සෞදි අරාබියට රැකියා සඳහා යැවීම නැවත ආරම්භ කර ඇති බවයි.

COVID-19 ලොව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් සවුදි අරාබිය විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම මාස 10 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබිණ.සවුදි අරාබිය විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම ආරම්භ කිරීමෙන් පසුව පවා විදේශ රැකියා ඒජන්සි සමඟ ඇති වූ ගැටලු හේතුවෙන් සෞදි අරාබියට විදේශීය ශ්‍රමිකයන් යැවීම නතර වි තිබිණි.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම ගැටළුව විසඳීම සඳහා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීමෙන් ගත් තීරණයට අනුව මෙම කණ්ඩායම යැවීමට රැකියා ඒජන්සි පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලාංකික පිරිමි කම්කරුවන් 60 දෙනෙකු නොවැම්බර් (28) උදෑසන සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව එම නිලධාරියා පැවසීය.

ඔහු කියා සිටියේ විදේශ ගත වන කම්කරුවන් 180 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ඔවුන් වන අතර සෞදි අරාබියේ හෝටල් හා ආගන්තුක සත්කාර අංශවල සේවය සඳහා ඔවුන් යොදවන බවයි.

Facebook Comments