free hit counter

ධම්මික පැණිය හා ගැලීලියෝගේ දුරේක්ෂය

අලුත් දැනුමක් එකතු කිරීම පහසු කටයුත්තක් නො වෙයි. බටහිර විශ්වවිද්යාල අනුකරණය කරමින් අප කියනවා ඊනියා පර්යේෂණ උපාධියක් සඳහා අලුත් දැනුමක් එකතු කළ යුතු ය කියා. ඔය කියන එකතු කිරීම් අලුත් එකතු කිරීම් නොවෙයි. ඒවා පරණ දැනුම් මත පදනම් වෙලා පරිධියේ ඇති ගැටළුවක් විසඳීමෙන් ලැබෙන ප්රතිඵල පමණයි. මගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් එකතු වුණු අලුත් දැනුමක් නැහැ. එහි තිබුණේ වැඩකට නැති ගණනය කිරීම්. සාමාන්ය දැනුමක් ඇති ඕනෑම අයකුට ඒ ගණනය කිරීම් කරන්න පුළුවන්.
එහි වැදගත් දේ දෙකක් පමණයි තිබුණේ. එකක් ඊනියා ස්ථානීය අවස්ථිති සමුද්දේශ රාමුව භුමණය වන වස්තුවක බලපෑම යටතේ භ්රමණය වන දිශාවට ඇදී යෑම නිසා සිදුවන දෙයක්. භ්රමණය වන දිශාවට විරුද්ධ අතට යමක් ප්රක්ෂේපණය කළත් එය ටික වෙලාවකින් අනෙක් අතට කැරකෙවන්න පටන් ගැනීම. දෙවැන්න ආලෝක කිරණ වස්තුවක් මැදින් ගමන් කිරීමේ දී ගුරුත්වජ කාච මගින් සෑදෙන ප්රතිබිම්බ සංඛ්යාව දෙකකට වඩා වැඩි වීම. ඒ දෙකෙන් එකක්වත් බටහිර විද්යාවට එකතු කළ අලුත් දැනුම් නො වෙයි. අයින්ස්ටයින්ගේ සාධාරණ (අර පඬි නැට්ටකුට අනුව මහා) සාපේක්ෂතාවාදයේ සමීකරණවලට දී ඇති විසඳුම් දෙකක් සමග සෙල්ලම් කිරීමට හැකි ඕනෑම අයකුට ඒ ප්රතිඵල ලබා ගන්න පුළුවන්. පඬි නැට්ටකු කියාවි මගේ ආචාර්ය උපාධිය වැඩකට ඇති එකක් නොවේ කියා. ආචාර්ය උපාධි අති විශාල බහුතරයක් එහෙම තමයි.
එහෙත් ධම්මික වෙද මහතා එකතු කර ඇත්තේ අලුත් දැනුමක්. කොවිඩ් 19ට ප්රතිකාරයක් හඳුන්වා දීම අලුත් වැඩක්. අලුත් අදහසක්. මා විශ්වවිද්යාලයක සේවය කළා නම් ඔහු දේශනයක් සඳහා ගෙන්නනවා. අප අගමැති අයියා වැනි ගොවීන්ටත් කොළඹ නව කලාගාරය විවෘත කළා. දැන් ප්රශ්නය වන්නේ අලුත් අදහසක් අප පිළිගන්නේ කොහොමද කියා. අලුත් අදහසක් ඉදිරිපත් කෙරෙන්නේ යම් ප්රශ්නයකට විසඳුමක් ලෙස. එහෙම නම් කළ යුතුව ඇත්තේ ඒ විසඳුම සාර්ථක ද කියා සොයා බැලීමයි. එය වැඩ කරනවාද හරියනවාද කියල සොයා බැලීමයි.
සාමාන්යයෙන් අදහසක් සියයට සියයක් වැඩ කරන්නේ නැහැ. ගැලීලියොගේ දුරේක්ෂය නම් සියයට දහයක්වත් වැඩ කෙළේ නැහැ. ඔහු බොරුවෙන් ජයගත් කෙනෙක්. මා සිසුන්ට කිවුවේ ගැලීලියෝ බොරු කාරයෙක් කියා. පරීක්ෂණාත්මක ක්රමයේ ඊනියා පියාට බොරුකාරයා කීම ඇතැමුනට ප්රියජනක කරුණක් වුණේ නැහැ. එසේ නම් ගැලීලියොගේ බොරුව සමාජය පිළිගත්තේ ඇයි ද කියා කාට හරි ප්රශ්නයක් ඇති වේ්වි. එයට හේතුවක් තිබුණා. සමාජයට ඒ දුරේක්ෂය අවශ්ය ව තිබුණා.
ගැලීලියෝ වැඩ කෙළේ දහහත්වැනි සියවස මුල. පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයටත් ටිකක් කල් ගිහින්. මාටින් ලූතර් පාප් වහන්සේට විරුද්ධව 1517 දි පෝස්ටරයක් අලවාත් කලක් ගත වෙලා. පෘතුගීසීන් ස්පාඤ්ඤයන් ලන්දේසීන් ආදීන් නව ලෝක දැක්ම අනුව ලෝකය බෙදා ගැනීමත් අරඹලා. මිනිසුන්ට පෘථිවියෙන් එහාට යන්න අවශ්ය වෙලා තිබුණෙ. එහෙත් එක් කොන්දේසියකට යටත් ව.
කලක් බටහිර ලෝකය හිතා හිටියේ පෘථිවිය තමයි විශ්වයේ ම කේන්ද්රය කියල. දෙවියන් වහන්සේ තම නිර්මාණයේ දී පොළොවට තමයි මුල් තැන දුන්නෙ. මිනිසා මැවුවෙත් මේ පොළොවෙ නොවැ. මේ පොළොවෙ දූවිල්ලෙන්. පස්සෙ කාලෙකදි භූමදාන කතා ගොඩ නැගුණෙත් ඔය දූවිලි කතාව හින්ද. ඒ මොකක් වුණත් ස්වර්ගයකුත් තියෙනවා. ස්වර්ගෙ කොහොමද කියල ද හිතන්නෙ.
ස්වර්ගෙ කොහේ තිබුණත් ඒක මෙහෙට වඩා හුඟක් වෙනස් වෙන්න බැහැ. ඒකෙ ඉන්නෙ එක්තරා විධියකින් ගත්තොත් නොමැරෙන මිනිස්සු. අනෙක් අතට දෙවියන් වහන්සේගේ නිර්මාණ වෙච්ච ඉර හඳ තාරකා පොළොවට වඩා වෙනස් විධියකට තියෙන්නත් බැහැ. මෙහෙ නීති තමයි එහෙ තියෙන්නත් ඕන. ඒ නීති හොයා ගැනීම තමයි බටහිර විද්යාවෙන් කෙරෙන්න ඕන. ඕක තමයි ගැලීලියොට බල පෑ පසුබිම. දුරේක්ෂයෙන් පොළොවෙ විධියට ම පොළොවෙන් පිටත් පේන්න ඕන. ගැලීලියොගෙ දුරේක්ෂයෙන් එහෙම පෙනුනේ නැහැ. ඒත් සමාජය එහෙම පේනවා කියල හිතන්න හැඩ ගැහිල තිබුණෙ. අදත් බටහිර විද්යාවෙ කියන්නෙ විශ්වයෙ හැම තැනක ම හැමදා ම මේ නීති තියෙනවා කියලා. අනේ මන්ද.
ගැලීලියොගෙ දුරේක්ෂය අසාර්ථකයි. ඒත් සමාජය එය පිළිගත්තා. ඒ නව චින්තනයට ඒක අවශ්ය වෙලා තිබුණ නිසා. ඊනියා පරීක්ෂාවලින් අසාර්ථක වුණත් පිළිගන්න කියන එක තමයි පර්යේෂණාත්මක බටහිර විද්යාවෙ පියා අපට දීල තිබෙන පණිවුඩය. ඒ මොකක් වුණත් අදහසක් වැඩ කරනවා ද කියල බලන්න බටහිර විද්යාවෙ නොයෙක් ක්රම භාවිතා කරනවා. ඒ අදහසක් අදාළ සමස්ත කුලකයේ ම වස්තුවලට (අවයවවලට) යොදන්න බැරි නිසා. ඊනියා නියැදි තෝරාගෙන ඒ නියැදිවල අදහස පරීක්ෂා කරල ඊට පස්සෙ සමස්ත කුලකයට ම අදහස වැඩ කරනවා කියනවා. ඒත් සමස්ත කුලකයට ම එය වැඩ කරන්නෙ යම් සම්භාවිතාවකට යටත් ව කියලත් කියනවා. එහෙම නැතුව බැහැ. සූදානම් සරීරෙ කිවුවලු. අර සම්පරීක්ෂණත් අදහස් පරීක්ෂාවෙ එක් අංගයක් වෙලා.
සම්පරීක්ෂණවල දි සමහර අවස්ථාවල දි බෙහෙතක් වගේ දෙයක් වැඩ කරනවා ද කියල බැලීමේ දි බෙහෙතෙ රුව ඇති එහෙත් ගුණ නැති දේකුත් බෙහෙතත් සමග වෙනත් පිරිසකට දෙනවා. ඒ පිරිසවත් බෙහෙත ලැබුණ පිරිසවත් දන්නෙ නැහැ තමන්ට ලැබුණෙ මොකක් ද කියල. අවශ්ය නම් ද්විත්ව අන්ධ ක්රමය යොදා ගෙන දෙන අයටත් ඒ ගැන දැනුමක් නොවන ආකාරයකට පරීක්ෂාව කරන්න පුළුවන්.
ඔය මොන පරීක්ෂාව කෙරුවත් සියයට සියයක් ම අදහස හරි (බෙහෙත හරි) සමස්ත කුලකයට ම වැඩ කරනව කියල කියන්න බැහැ. ඒ නිසා සම්භාවිතාව ඕනමයි. දැන් ඔය බෙහෙත් දුන්නත් සමහර විට රෝග හොඳ වෙන්නෙ නැහැ. බටහිර වෙදකමේ කෙරෙන්නෙ රෝග සුවකිරීමකට වඩා රෝග පාලනය කිරීමක්. බෙහෙත ගන්න ක්රමයක් තියෙනවා. මාත්රාව, උදේට හවසට ආදී වශයෙන් කොන්දේසි තියෙනවා. රුසියාව නම් කියල තියෙනවා ස්පුට්නික් එන්නත සියයට සියයක් වැඩ කරනවා කියලා. ඒක බෙහෙතක් නොවන නිසා ද දන්නෙ නැහැ.
ධම්මික වෙදමහතා කියනවා පැණිය සියයට සියයක් වැඩ කරනවා කියලා. ඒක අපේ විධිය ප්රත්යක්ෂයි අත්දුටුවයි. ඒකෙත් කොන්දේසි තියෙනවා. පැණිය ගෙදර ගිහින් කොට්ටෙ යට තියාගෙන හිටියට හරියන්නෙ නැහැ. කැමරාවට පේන්න එක සැරයක් අරගෙනත් හරියන්නෙ නැහැ. ඒ වගේ ම මස්මාංශ මත්පැණින් වළකින්න ඕන. ඒ සියල්ල හරි නම් තමයි සියයට සියයක් වැඩ කරනව කියන්නෙ. මා හිතන්නෙ දැනට දසදහස් ගණනක් පැණිය බීල ඇති.
පාරම්පරික වෙදකමේ ඊනියා සම්පරීක්ෂණ නැහැ. පැණිය වගේ ඒත් පැණිය නොවන ද්රවයක් තවත් කොටසකට දීල බලන්නෙ නැහැ ඒ අයට මොකද වෙන්නෙ කියල. පැණිය නැතුව අමෘතෙ දුන්නත් වැඩක් නැහැ. ලෙඩේ හැදෙන්න පුළුවන්. අමෘතෙ නිසා මැරෙණ එකක් නැහැ. ධම්මික වෙද මහතාගෙ පැණිය ඒ මහතාට අනුව කොන්දේසිවලට යටත් ව සියයට සියයක් විශ්වාසයි. පඬි නැට්ටකුට ඕන නම් සියයට කීය ද කියල බලාගන්න පුළුවන්.
පැණියෙන් රෝගය සුව වෙනව ද සුව වීමට එකම හේතුව පැණිය ද කියල බලන්න ඕන නම් තමයි ඔය සම්පරීක්ෂණ අවශ්ය වෙන්නෙ. මෙහි දී පැණිය එක ම හේතුව කියල දන්නව නම් ඊනියා සම්පරීක්ෂණ අවශ්ය වෙන්නෙ නැහැ. ධම්මික වෙද මහතා ඒ බව දන්නවා. අද අනුරාධපුරයෙ කෙරෙන්නෙ ඊනියා සායනික නැහැසුම්වත් නො වෙයි. කාගෙවත් බෙහෙතක් හරි ද කියල හොයන එක. ඒකට සම්පරීක්ෂණ අවශ්ය නැහැ. බටහිර වෙද මහත්තුරු දන්නෙ නැහැ තමන් කරන්නෙ මොකක් ද කියලවත්.
මහාචාර්ය නලීන් ද සිල්වා
Facebook Comments