free hit counter

ඉන්දියාවට අවශ්‍ය වන්දියක් ද?

දැනට සතියකට පමණ පෙර මා ඉන්දියාව, චීනය හා වරාය ගැන ලිවුවා. සතිය ඇතුළත ප්‍රශ්නය උග්‍ර වෙලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අද දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව වෙලා. සිංහලයන්ගෙ ඇති ඉන්දියන් විරෝධය නොසලකා සිටින්නට ආණ්ඩුවට බැහැ. නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් නොව 51%ක් චීනයට දුන්නත් මෙතරම් විරෝධයක් මතුවෙන එකක් නැහැ.

හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීම කෙරුණේ යහපාලන ආණ්ඩුවෙන්. එහි දී විරුද්ධ පක්‍ෂයෙන් එල්ල වුණේ සුළු විරෝධයක්. එයට විරුද්ධ ව විශාල ජනමතයක් ඇති වුණෙත් නැහැ ඇති කෙළෙත් නැහැ. එකල විරුද්ධ පක්‍ෂයත් චීනයට විරුද්ධ වුණේ නැහැ. කොහොමත් සිංහලයන් හිතන්නේ චීනය මිතුරු රටක් කියා.

ජෙනීවා සංදර්ශනවල දී චීනය අපට කොන්දේසි විරහිත ව සහාය දී තියෙනවා. පෙබරවාරියේ ජෙනීවා සංදර්ශනය පැවැත්වෙනවා. ඒ සඳහා එංගලන්තය ප්‍රමුඛ රටවල් දැන්ම ම පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා. ඔවුන් ලංකාවට විරුද්ධ ව රටවල් පසුපස යනවා. ඒ අතර එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් අයිතිකාරවරිය නැත්නම් අදාළ කොමසාරිස්වරිය වෙනත් රටවලට කියන්නේ ලංකාවට විරුද්ධ ව තහංචි පැනවීම ගැන සිතීමට.

ඉන්දියාව පසුගිය කාලයෙහි ජෙනීවාහි අපට පක්‍ෂව කළ දෙයක් ඇද්ද? ඔවුන් කර ඇත්තේ අපට දමන තොණ්ඩු තදකිරීම පමණයි. යහපාලන ආණ්ඩුව කාලයෙහි තොණ්ඩු දැමීමක් සිදු වූයේ නැහැ. එකල සිදු වූයේ යහපාලනය තමන් ම තොණ්ඩු දමා ගැනීමයි. ජ වි පෙ අද වගේ දේශීය සම්පත් රැක ගැනීමට එකල කතා කෙළේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එකල කාදිනල්තුමා හමුවීමට ගිය බවක් මතක නැහැ.

ඉන්දියාව ගැන තිබෙන අවිශ්වාසය කෙතරම් ද යත් අද ජනතාවගෙන් යම් පිරිසක් හිතන්නේ ඉන්දියාව අපට අර කොවිඩ් එන්නත ලබා දී නැගෙනහිර පර්යන්තය ලබා ගන්න යන බවයි. ඒ උපකල්පනයෙන් කියැවෙන්නේ ඉන්දියාවට ඇති විරුද්ධත්වය මිස අනෙකක් නො වෙයි.

යහපාලන ආණ්ඩුව කාලයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග ඇති වී තිබෙන ගිවිසුම් එකඟතා වහාම ප්‍රසිද්ධ කරන්න ඕනෙ. එහෙම ගිවිසුම් ආදිය ඇතැයි කීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එකී ගිවිසුම් වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ කිනම් වගන්ති ද යන්නත් පැහැදිලි ව කියන්න ඕන.

නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් නොව 0.001 %ක්වත් ඉන්දියාවට ලබා දීමට සිංහලයන් කැමති නැහැ. කොටස් 49%ක් ආයෝජනය කරනවා කියන එක මිනිසුන් තේරුම් ගන්නේ කොටස් 49%ක් විකුණනවා කියන ලෙසයි. ඒ මදිවාට අදානා සමාගම ගැන ඇත්තේ යහපත් සිතිවිලි නො වෙයි.

ආණ්ඩුව මින් පසු ණය නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනී යනවා. එය නම් හොඳයි. අද අප ගන්නා ණයවලින් විශාල කොටසක් යොදා ගන්නේ පැරණි ණය ගෙවීමට. මෙය උරචක්‍රමාලයක්. ණය ගැනීම වෙනුවට ආයෝජකයන් සහභාගි කරවා ගැනීම ආණ්ඩුවේ බලාපොරොත්තු ව බවයි පෙනී යන්නේ. එහි වරදක් කියන්න බැහැ. ඒ සියලු ආයෝජන ප්‍රතිපත්තියක් ලෙස ආයෝජන මණ්ඩලය මගින් කිරීම සලකා බලන්න පුළුවන්.

ඉන්දියාව අපෙන් ඉල්ලන්නේ කොටින්ට එරෙහි ව කරන ලද මෙහෙයුම්වල අවසාන භාගයේ දී නිහඬ ව සිටීම වෙනුවෙන් වන්දියක් ද? ඒ වන්දියට නැගෙනහිර පර්යන්තය ලබා ගැනීම මෙන් ම දෙමළ ජාතිවාදීන්ට 13+ ලබා දීම ද ඇතුළත් ද? ඒ වන්දිය දීමට කිසිවකු පොරොන්දු වී තිබෙනවා ද? එසේ පොරොන්දුවක් ගැනීමට ඉන්දියාවට අයිතියක්වත් පොරොන්දුවක් දීමට කිසිවකුට අයිතියක්වත් නැහැ.

අප කලිනුත් කියා ඇති අන්දමට ලංකාව ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව ඉන්දියාවට නේරුගේ කාලයේ සිට ම තිබුණා. ඔවුන්ට සිංහල විරෝධයකුත් දිගින් දිගට ම තියෙනවා. ඔවුන් කොටින්ට හා දෙමළ ජාතිවාදයට ආධාර කළා. එහෙත් රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාවට කොටි පරදවා දෙමළ ජාතිවාදයට ආධාර කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. ඉන්දියාව දෙමළ ජාතිවාදයට ආධාර කරන්නේ සිංහලයන්ට විරුද්ධ ව මෙන් ම තමිල්නාඩු අවශ්‍යතාව වෙනුවෙනුත්.
ඔවුන්ට කොටි පැරදවීමටත් තමිල්නාඩුව සැනසීමටත් අවශ්‍ය ව තිබුණා. ඒ නිසා තමයි ඔවුන් කොටින්ට විරුද්ධව කරන ලද හමුදා මෙහෙයුම්වල අවසාන කාලයේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. එය ඉන්දියාවේ උපක්‍රමයක්. අප ඒ සඳහා ඉන්දියාවට වන්දියක් ගෙවීමට අවශ්‍ය නැහැ.

අද නොරොච්චෝලෙ චීනයට දීමක් ගැනත් කතා පැතිර යනවා. අප මෙරට සම්පත් ඉන්දියාවටවත් චීනයටවත් වෙනත් කාටවත් විකුණන්නවත් බදු දෙන්නවත් අවශ්‍ය නැහැ. එහෙත් අපට ආයෝජකයන්ට ආරාධනා කරන්න පුළුවන් වෙන්න ඕන. විදේශීය ආයෝජකයන් නැතිව දේශීය ආයෝජකයන්ට පමණක් ව්‍යාපෘති ඇති කරන්න පුළුවන් නම් එයට ආධාර කරන්න ඕන. දේශීය ආයෝජකයන් මෙරට පමණක් නොව පිටරට ද ආයෝජනය කරන්න ඕනෙ. විශේෂයෙන් ම මියන්මාරය සහ වෙනත් අග්නිදිග ආසියාතික රටවල දේශීය ආයෝජකයන්ට ආයෝජනය කරන්න පුළුවන්.

මහාචාර්ය නලින් ද සිල්වා

Facebook Comments