free hit counter

නැගෙනහිර ජැටිය ඉල්ලා ඉන්දීය තර්ජනය හේතුවෙන් කැබිනට් රැස්වීම අවුලක

මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, කලින් පොරොන්දු වූ පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව දැක්වෙන ආකාරයේ නිවේදනයක් නිකුත් කළේය.

ඒ එයට පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් නිකුත් කරන බවත්ය.

කෙසේ වෙතත් අද 2021 පෙබරවාරි 01 හවස 6.00 කැබිනට් රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබියදී හවස 4.30 ට පමණ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය හේතුවෙන් කැබිනට් රැස්වීම අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇතිකර ගැනීමට හෝ වරාය ඉන්දියාවට පැවරීමට විරුද්ධ ආණ්ඩුවට පක්ෂ පිරිස් සමග ගැටළුවක් ඇතිකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂට මේ මොහොතේ සිදුව ඇති බැවින් අද හවස පැවැත්වෙන කැබිනට් රැස්වීම තීරණාත්මක එකක් වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව බොහෝ විට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොගෙන සිටීමට කටයුතු කරනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

Facebook Comments