free hit counter

පති අයියා සිහි වීම පිණිස – මගේ සො`දුරු බේබදු අතීතයෙන් බිඳක් !!!

ධර්මසේන පතිරාජ, සුචරිත ගම්ලත්, තිලක් ජයරත්න සහ මම බොරැල්ල ඊ ඒ පී බාර් එකෙ හි අසුන් ගෙන සිටියේ තිතට මත තියනු උදෙසා ය. අවුරුදු විසිපහක ට පමණ පෙර දවස ක දහවල් එකොළහ ට විතර ය. එදා වියදම් මා ගණනේ ය.
අප සතර දෙනා ම ට්රොස්කිවාදීන් වීම, පොදු ගුණාකාරයකි. මඳක් රත් වී ගෙන එන විට ඒ ති දෙනා විසින් මට ඇටෑක් කරන්න ට පටන් ගත්තේ ම’ විසින් පෙර දිනක ලියා තිබූ ලිපියක් අරඹයා ය. ලිංගික නිදහස ට පක්ෂව ලියා තිබූ එය, ඒ කාලයේ හැටියට තරමක සැර ලියැවිල්ලකි. මගේ වියත් මිතුරන් ගේ අදහස වූ යේ සමාජවාදයෙන් තොර කිසිදු ලිංගික විමුක්තියක් නැති ය යන්න ය. මම ඊට වෙනස් මතයක් දැරීමි.

ස්වභාවයෙන් ම ආවේගකාරී ලෙස අදහස් දක් වන්නන් දෙදෙනකු වන මා සහ ගම්ලත් සහෝදරයා අතර විවාදය තරමක් උණුසුම් වන විට පති අයියා සහ තිලක් අයියා ට කතා කරන්න ට ඉඩක් ලැබුණේ නැති තරම් ය. ඒ තරම ට අප දෙදෙනා ගේ හ`ඩ උස් විය. ( එකම වමේ පක්ෂයක ( විකොස ) සාමාජිකයින් වී සිටි නිසා, ම’ විසින් ගම්ලතුන් ඇමතූයේ සහෝදරයා නමිනි )

කෙසේ හෝ ඒ විවාදය අතර මග නැවතුණේ, දීප්ති කුමාර ගුණරත්න බයිට් එකක් ලෙස මේසය ට සපැමිණි හෙයිනි. ගමලතුන් දැඬි දීප්ති විරෝධියෙකි. අනෙක් දෙදෙනා නම් දීප්ති ගැන නම්යශීලී ය. පශ්චාත් නූතනත්වය නැවත හදාරමින් සිටි පති අයියාගේ ඇතැම් ඝනීභූත අදහස් දිය වෙමින් තිබුණු කාලයකි එය. තිලක් අයියා වුව ද දැඬි මතධාරියකු නො වේ. විය යුතු පරිද්දෙන් ම යළි ගෝරිය අවිලූණේ මම මාගේ කළ්යාණ මිත‍්ර දීප්ති වෙනුවෙන් තදින් පෙනී සිටීම නිසා ය. ගම්ලතුන් තුන් පාරක් ම නැඟිට, ඉවත් ව යන්න ට සැරසුණෝය. පති අයියා විසින් ඇවිටිලි කර ඔහු නවත්වා ගත්තේ ය.
දහවල් දෙක ට බාර් එක වසා දැමූ හෙයින්, අප සතර දෙනා අසල හොර පොළකට රිංගා ගත්තේ බඩු මදි වීම නිසා ය. එහි සිටි සුනිල් මාධව අපට එකතු වීම ද තවත් රසවත් වීමකි. ඉක්බිති, උග්ර ජේ වී පී මතධාරියකු වන සුනිල් ට අප සතර දෙනා විසින් කොන්දේසි විරහිත ව නෙලන්නට පටන් ගතිමු.

කරටිය කැඩෙන්න ට ලං වී සිටි සුනිල් සිය සුපුරුදු විලප්ලවවාදී දේශනය පටත් ගත් අතර වැඩි වේලාවක් යන්න ට පෙර හේ ප්රචන්ඩකාරී වූයේ ය. මා ද එසේ ප්රචන්ඩකාරී වන චරිතයක් වන නමුදු එදා එසේ නො වූයේ, මා සමඟ සිටි විදග්ධ මිතුරන් නිසා වන්න ට ඇත. ටික වේලාවකින් සුනිල් සමඟ සිටි මිතුරකු විසින් ඔහු ඉවත ගෙන යන ලදි.

සවස හය ට පමණ සභාව විසිර වූ අප වෙන් ව ගියෙමු. ගෞරවණීය මිතුරන් ති දෙනා ත්රී වීල් තුනක නැං වූ මම අවසන් පෙරේත ෂොට් එක දැමීම පිණිස යළි ඊ ඒ පී ය වෙත යමින් සිටිත් දී, බොරැල්ල සුපර් මාර්කට් එකෙ හි පඩියක් මත වාඩි වී, ඔලූ ව ගසා ගෙන සිටි සුනිල් නැවත හමු විය. ඒ අසලින් මා ද වාඩි වූයේ අර පෙරේත ෂොට් එක ට ඔහු ට ද ආරාධනා කරමිනි. එ කළ තද බූට් පාරක් කා සිටි මා, ඒ ගැන දොඩමින්, හ`ඩන්න ට පටන් ගත් විට සුනිල් ද මට සපෝර්ට් එකට ටිකක් හැ`ඩුවා මතක ය.

එදින සුගත් අයියා ගේ ( සුගතපාල ද සිල්වා ) උපන් දිනය බැවින් අඩියක් ගැසීම ට එන ලෙස දන්වා තිබුණ බව මට මතක් වූ යේ අහම්බෙනි. සුනිලා ව ද ඇද ගත් මම රත්මලාන වෙත යන්න ට පිටත් වීමි. අතර මඟ දී කුමක ට හෝ අප දෙදෙනා රණ්ඩු වෙන්න ට පටන් ගත් අතර වලිය දුර දිග යාමෙන් සුනියා ත්රී වීලයෙන් බැස මට විතරක් පලයං කීවේ ය.
සති දෙකක ට පසු ගම්ලතුන් විසින් මගේ ලිංගික අදහස් වල ට එරෙහි ව සැර ලිපියක් රාවය ට ලියා තිබිණි. එදා කෙතරම් බීමතින් සිටිය ද මගේ තර්ක විතර්ක ඔහු ට හො`දින් මතක ය. ඊට පිළිතුරක් ම’විසින් ලියූ ව ද, වැඩිහිටියන් ට පමණක් වන අදහස් වැඩි වැඩියෙන් තිබූ නිසා, එය පළ කිරීම පුවත් පත විසින් ප්රතික්ෂේප කරන ලදි.

ඉන් නුදුරු දිනෙක. පති අයියා ගෙන් මට කැ`දවීමක් ලැබුණේ, විජය කුමාරතුණ්ංගයන් ගැන ඔහු විසින් නිපදවන වාර්තා චිත්රපටයක ට, මගේ වොයිස් කට් එකක් ද අවශ්ය බව දන්වමිනි. චන්ද්රිකා ගේ රෝස්මීඞ් නිවසෙ හි දී, විජය සමඟ වූ, දේශපාලන කළ කෝළාහල නිසා, ඔහු අරඹයා වන දහසක් සිතිවිලි ම’ වෙත ඇත.

මෙ රට වූ තරුණ ඝාතනයන් පිළිබඳ අප මාක්ස්වාදීන් කො තරම් විස්සෝප වුව ද, ඔවූහු විජය ඝාතනය ගැන දක් වන්නේ ඇල් මැරුණු නිහ`ඩතාවකි. ඊට වෙනස් ව සිය මිතුරා අහිමි වීම සම්බන්ධයෙන් බලවත් කම්පණයක් පති අයියා තුල තිබිණි. එම චිත්රපටය අවසන් කර ඇත්නම්, එය රාජ්ය චිත්රපට අංශ ගබඩාවෙ හි තිබිය යුතු ය.

වැ ෙඩ් අතර තුර පති අයියා හීනිය ට ෂොට් දෙක තුනක් වනමින් සිටියේය. මම ද එහි එල්ලීමි. එ වක මා සමඟ බොන හැම එකකු ම හා මගේ ප්රෙම විරහව ගැන කියමින් වැල පී, සහන පැතීමේ අනුකම්පා සහගත පුරුද්දක් මට තිබිණි. ‘අහිමි වීම’ සම්බන්ධයෙන් භෞතිකවාදීන් ට ඇත්තේ එක උපදේශය කි. එනම් තව දුරටත් සටන් කරනු ය යන්න ය. මා සිටියේ ඇති තරම් සටන් කර, තව ගුටිත් කා හෙම්බත්ව ය. මට ඕනෑ කර තිබුණේ වෙනත් පිළිතුරකි. ‘‘බැරි ද ටිකක් දේවල් වල ට ඇලෙන්නෙ නැති ව ඉන්න’’. පති අයියා ඇසුවේ ය. භෞතිකවාදියකු වන පති අයියා ගෙන් ලැබුණේ බුදුන් විසින් අපට වදාළ ධර්මය ම ය. එය ඔහුගේ පරස්පර කමක් යැයි මම නො සිතමි. අවංක මාක්ස්වාදීන් ද ජීවත් වන්නේ වැඩි ඇලීමකින් තොරව ය.

එදා සුගත් අයියා ගේ නිවස ට යන විට ඔහු කස්ටිය සම`ග අහිංසක අමරස බෝතල් වල ට වග කියමින් සිටියේ ය. එකළ සුගත් සහ ධර්මසිරි ( බණ්ඩාරණායක ) අයියලා ගේ නිවෙස් මට මගේ ම මෙන් විය. ඒ ආදරණීය පවුල් සමඟ අති වූ තද ආල බැඳී ම අද දක්වා ම තිබේ. ඔවුනගේ නාට්ය කණ්ඩායම් හා එක් වී, රට පුරා යමින්, තරුණයකු ලෙස මා ලද සංතුෂ්ටිය මෙතැකැ’යි නම් කිව නො හැකිය. උන් හා හිස් කළ බෝතල් ප්රමාණය ද අනන්තය.
මගේ ජීවන ගමනේ දී වඩා වස`ගකාරී, රසවත් මිනිසුන් බොහොමයක් හමු වී ඇත්තේ මට පෙර පරම්පරා ව වෙතිනි. ඒ ද මම කලා ව, දේශපාලන ය සහ අරක්කු බීම, ජීවිතය ලෙස තෝරා ගත් නිසා ය. එසේ නො වුණා නම්, පියාගේ අඩි පාරේ යමින් මා, දුම්රිය සේවකයකු වන්න ට ඉඩ තිබිණි.

අනිත්යය ට ඉඩ දී, මගේ යෝධ මිතුරන් එකින් එකා, එක පෙළ ට නික්ම යමින් සිටිනු පෙනේ. පතිරාජ, ගම්ලත්, තිලක් තිදෙනා පිළිකා මාරයා විසින් දිව්ය ලෝකය වෙත රැගෙන යන ලද්දේ, නියමිත කාලය ටත් පෙර ය. අප ගේ වාරය ද හෙට වන්න ට පුලූවන.

මළ ගෙවල් වල නො යාමේ නරුම ප්රතිපත්තියක් මට ඇති හෙයින් ඒ කිසිවකුගේ අවසන් මොහොත දැක ගැනීම ට මට නො හැකි විණි. ඔවුහූ ලෙඩ ව, අසරණ ව සිටිත් දී පවා මම උන් බලන්න ට නො ගියෙමි. මරාණාසන්න මිනිසුන්ගේ දෙනෙත් බැලීම මට අසීරු ය. අවසන් වර ට මා එසේ දුටු වේ සුගත් අයියාගේ දෑස ය. මෙතැන් හි මා ආත්මාර්ථකාමී බව ඇත්ත ය.
ඉතින්, සො`දුරු අතීත ය නිමල පැතුම වී, මගෙ හද තුල උන් හිඳීනු ඇතී.

(මතට පක්ෂ චින්තන ධර්මදාසයන් විසින් පළ කර තිබූ උදෘතයක්, මෙසේ පහත උපුටා දක් වන්නේ, අප විසින් බොන අරක්කු නම් වන අමෘතය ට ගෞරව කිරීම පිණිස ය. )

” බීම කියන්නෙ ඉමෝෂනල් කාරණයක්. ඒකෙන් ඔයා ගෙ ස්ටෑන්ඩර්ඞ් ජීවිතේ හොල්ලලා දානවා. ඒක ඔයා ගෙ ශරීරයෙන් සහ මනසින් ඔයා ව එලිය ට අරන් බිත්තියක ට දමල ගහනව. මං දකින විදිහට බීම කියන්නෙ එක්තරා විදිහක දිවි නසා ගැනීමක්. ඒත් පහුවෙනිදා උදේ ට ඔයා ට පුළුවන් අලූත් ජීවිතයක් වගේ පටන් ගන්න. ඒක හරියට ඔයා විසින් ඔයාව ම මරා දාලා ආයිමත් ඉපදුනා වගේ. මට හිතෙන විදිහට මං මේ වෙද්දි ජීවිත දහ පාලොස් දාහක් විතර ජීවත් වෙලා තියෙනවා.”

චාල්ස් බුකොව්ස්කි

ශූර වීර ධර්මසේන පතිරාජයන් නික්ම ගොස් වසර තුනකි. පහත ඇත්තේ ඔහු මිය ගිය මොහොතෙ හි මා තැබූ සටහනකි.
සිරිමල් විජේසිංහගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී

Facebook Comments