free hit counter

ඉන්දියාව බටහිර පර්යන්තය එපා කියයි

නැගෙනහිර වරාය පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ 2019 ගිවිසුම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමෙන් දින දෙකකට පසුව, ජපානය පවසන්නේ මෙම තීරණය “ඒකපාර්ශ්වික හා කණගාටුදායක” බවයි.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ශ්‍රී ලංකාවේ ඉහළ නායකත්වය හමු වී මෙම තීරණය පිළිබඳ විරෝධය පල කළ අතර අනතුරුව බදාදා ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. චීන යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රමුඛස්ථානයක් ගත් දකුණු ආසියාවේ ඉන්දියා-ජපාන සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීමට නැගෙනහිර වරාය පර්යන්ත ව්‍යාපෘතිය අපේක්ෂා කරන ලදී.

දිල්ලියේදී ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ සඳුදා පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද නිවේදනය පිළිබඳ තොරතුරු ජපාන රජය විසින් සොයා බලමින් සිටින බවයි.
“ජපානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2019 මැයි මාසයේදී නැගෙනහිර වරාය පර්යන්තය සංවර්ධනය සඳහා වූ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබුවා” යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රජය සමඟ ඉන්දියාව සහ ජපානය අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ගැන සඳහන් කරමින් එම නිලධාරියා පැවසුවේ “ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවිකව කැබිනට් තීරණයක් ගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ අයිතිය සහිත බහාලුම් පර්යන්තයක් ලෙස නැගෙනහිර වරාය පර්යන්තය සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම ප්‍රකාශයට පත් කිරීම කනගාටුවට කරුණකි” යනුවෙනි.

නැගෙනහිර වරාය පර්යන්තය ව්‍යාපෘතියේ කිසිදු විදේශීය භූමිකාවක් හෝ ආයෝජනයක් සඳහා ඉඩ ලබා දීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති කම්කරුවන්ගේ විරෝධතා හේතුවෙන් ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ ගැටළු ඇතිවීමෙන් පසු නවදිල්ලිය සහ ටෝකියෝ, රාජපක්ෂ රජය සමඟ පසුගිය මාස කිහිපය තුළ සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් ජනවාරි 6 වන දින කොළඹ කරන ලද සංචාරයෙදී නැගෙනහිර වරාය පර්යන්තය පිළිබඳ අදහස න්‍යාය පත්‍රයෙහි ඉහළ මට්ටමක පැවති අතර මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන් දැඩි කැපවීමක් අපේක්ෂා කරන ලදී. ජයශංකර් මහතා හමුවීමෙන් පසු ජනාධිපති ගෝඨාභය වරාය සේවක සංගම්වලට කියා සිටියේ ඉන්දියාවේ අදානි සමූහය මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන බවත්, ශ්‍රී ලංකාව ජාතික වත්කම් විකිණීම හෝ බදු දීම සිදු නොකරන බවත්ය.

කෙසේ වෙතත්, සඳුදා අග්‍රාමාත්‍ය මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ශ්‍රී ලංකා රජය නැගෙනහිර වරාය පර්යන්තය “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ අයිතිය සහිත බහාලුම් පර්යන්තයක්” ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කළ අතර එය කලින් සැලසුම් කළ පරිදි ඉන්දියානු සහ ජපන් ආයතන සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් නොවේ .

මේ දක්වා පැවති සාකච්ඡා අනුව ඉන්දියාව සහ ජපානය යන රටවල් දෙකම පුදුමයට පත් වූ අතර නැගෙනහිර වරාය පර්යන්තය හරහා හුවමාරුවන ව්‍යාපාරයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව හා සම්බන්ධ වී තිබේ. ජපානයේ ශ්‍රී ලංකාවට ලැබෙන දායකත්වය ද සැලකිය යුතු ය. මේ වන විට යෙන් ට්‍රිලියන 1.1 ක ණය සහ ප්‍රදාන සහ යෙන් බිලියන 300 ක තාක්ෂණික සහයෝගීතාවක් ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා තීරණය තමන් බලාපොරොත්තු නොවූ බව නිලධාරීහු පැවසූහ.

මීට අමතරව, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි ලිමිටඩ් සහ එස්එල්පීඒ අතර හවුල් ව්‍යාපාරයක් වන අසල්වැසි කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (සීඅයිසීටී) ව්‍යාපෘතිය ද මෙවැනි ගැටලුවලට මුහුණ දී නොමැති බවත්, ඉන්දියාව සහ ජපානය අවම වශයෙන් සමාන ප්‍ප්‍රතිචාර බලාපොරොත්තු වූ බවත් නිලධාරීන් පෙන්වා දී තිබේ.

සංශෝධන සිදුකිරීමේ ප්‍රයත්නයක දී – රාජපක්ෂ රජය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඉන්දියාවට සහ ජපානයට වසර 35 ක ගිවිසුමක් මත ලබා දී ඇති නමුත් ඒ වන විට නිලධාරීන් මෙම යෝජනාවට කැමැත්තක් දක්වා නැත. ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු ලියා ඇත්තේ 2018 දී ඉන්දියාවට බටහිර පර්යන්තය පිළිබඳ යෝජනාවක් ලබා දී ඇති අතර එය “ප්‍රතික්ෂේප” කර ඇති බවයි. ඉන්දියාව සහ ජපානය විකල්ප ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාව නැවත සලකා බලනු ඇත්ද නැතිනම් රාජපක්ෂ රජයට එහි තීරණය ගැන නැවත සිතා බැලීමට සිදුවේද යන්න ඉදිරි දින කිහිපයේ තීරණාත්මක සංවාදයක් බවට පත් වනු ඇත.

Facebook Comments