free hit counter

කොවිඩ් එන්නත ගත්ත ලංකාවේ වෛද්‍යවරියට වෙච්ච දේ – එන්නත ගන්න කලින් කියවන්න

වැක්සීන් එකට අමාරු වෙනව කියල හුඟ දෙනෙක් බයෙන් ඉන්නව කියල දන්න හින්දයි මේ ටික කියන්න හිතුවෙ..
වැක්සීන් එක ගැහුවට පස්සෙ අපෙ යුනිට් එකෙ වැඩිපුරම දවස් ගානක් (දවස් 2 හමාරක්) අමාරුවෙන් හිටිය කෙනා මම.. ඒ හින්දා මේ ටික මම කිව්වම අදහසක් එයි කියල හිතනව.. මුලින්ම මතක් කරනව, මේ මගෙ අත්දැකීම මිසක් හැමෝගෙම අත්දැකීම නෙවෙයි කියල.. 😀

මම වැක්සීන් එක ගත්තෙ ගිය ඉරිදා උදේ 10ට වගෙ. ඒ ගමන්ම මම වැක්සීන් දෙන තැන Emergency Unit එකෙ ඩියුටිවලට ගියා. එතන එහෙ මෙහෙ දඟලලාමද මන්දා එදා හවස 3,4 වෙද්දි මට ඇඟට පොඩි අමාරු ගතියක් ආවා.. එදා හවසත් මම ඩියුටි හිටිය හින්දා මට හවස ඉන්න උනෙ ඇතුලෙ A/C එකත් එක්ක. ඒ හින්දා සීතල මට වැඩිපුර බාධා උනා.. රෑ 7 වෙද්දි මට උණ, මස්පිඬු වේදනාව, හන්දි අමාරු, විදපු තැන අධික වේදනාවක් ආවා..

ඇත්තටම උහුලන්න ටිකක් අමාරු උනා.. ඒත් මට මාරම සතුටු හිතුනා.. සතුටු හිතුනා??

ඔව්.. මොකද මට තේරුණා මගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ පටන් අරන් කියල… මට තිබුනෙ එයාල ඒ වැඩෙ කරනකල් පොඩි කාලයක් වේදනාව ඉවසන්, පැය 6න් 6ට පැරසිටමෝල් අරන් විවේකයෙන් ඉන්න විතරයි.. ඩියුටි ඉන්න අස්සෙ වැක්සීන් එක විදගත්ත එක මගෙ වරද මිසක් මගෙ Immune system එකෙ වරදක් නෙවේනෙ..

එදා උදේ මම කෝකටත් කියල මගෙ වාහනෙන් වැඩට ආවෙ නෑ.. මොකද මම දන්නව ඔය වගෙ වැක්සීන් එකක් ගැහුවම උණ ගන්නව, ඇඟට අපහසුයි කියල. ඒ හින්දා රෑ මාව ගන්න හස්බන්ඩ් හොස්පිටල් එකට ආවා.. එන මඟට එයාටනම් දාඩිය පෙර පෙර එන්න උනා මම වාහනෙ A/C එක ඕෆ් කරපු හින්දා..

මේ වගෙ වෙලාවක කන්න අප්පිරියාවක් එක එන සාමාන්‍යයිනෙ.. ඒත් ඇඟ විජලනය නොවී තියාගන්න එක අත්‍යාවශ්‍යයි.. ඒත් වතුර බොන්න බෑ, තිත්තට දැනෙනව.. ඒ හින්දා ගෙදර ආව ගමන් අම්මට කියල සුප් එකක් හදාගෙන ලුණු රසට රස්නෙට බිව්ව.. ඒ එක්කම පැරසිටමෝල්+කෝඩෙන් අඩංගු පෙති 2කුත් ගත්තා වේදනාව අධික හින්දා..

සුප් එකෙන් ටිකක් ඇඟට පණ ආවත් තාමත් ඇඟ පත වේදනාව ඉවසන්න බැරි උනා බෙහෙත් වැඩ කරන්නත් වෙලාවක් ගන්න හින්දා.. අනිත් අයට වැඩ කරයිද නැද්ද මන්දා, මමනම් ඊ ලඟට කරෙ වැක්සීන් සයිට් එක නොතෙමෙන්න කලින්ම ගෙනත් තියාගත්ත Water proof plaster එකක් ගහල තදම තද උණු වතුරෙන් හොඳට ඇඟ හෝදගත්ත එක.. ඒකෙන් මගෙ ඇඟෙ අමාරු 90%ක්ම අඩු උනා.. ඒ එක්කම තඩි බඩගින්නකුත් ආව හින්දා හස්බන්ඩ් හොඳට දෙහි දාලා හදලා දුන්න සම්බෝලයක් එක්ක බඩ පැලෙන්න කෑවා..

ඊට පස්සෙ සුව සේ මට නින්ද ගියා.. ඒත් ආයෙත් පැය 5ක් යද්දි මට සීතල එක්ක වෙව්ලලා ෆැරන්හයිඩ් 103ට උණ, දැඩි මස්පිඬු වේදනාව, කොන්දෙ අමාරුව එක්ක උණ ආවා.. පැරසිටමෝල් බොන්න තව වෙලා තිබ්බත් ඉන්නම බෑ.. අම්මලාට මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න උවමනා උනත් මේ තත්වය අතිශය සාමාන්‍ය බව මම අවබෝධයෙන් කියා හිටියා. ඒ හින්දා වේදනාව අඩු කරගන්න අම්මට කියලා ආයෙත් මුළු ඇඟම උණු වතුරෙන් තවා ගත්‍තා.. මටනම් ඒක තමා බෙහෙත උනෙ. උණු වතුර තෙරපියට වේදනා ඔක්කොම අඩුම අඩු වෙලා ගියා.. ආයෙත් පැය 6 උන තැන පැරසිටමෝල්+කෝඩේන් පෙති 2කුත් බීලා නිදාගත්තා..

එතන ඉදන් තද උණ ආවෙ නෑ. ඒත් මම පහුවදා දවසෙත් පැය 6න් 6ට පැරසිටමෝල්+කෝඩේන් පෙති ගත්තා.. එදා හවස් වෙද්දි තෝන්තු ගතිය ඇර වෙන ලොකූ අමාරුවක් තිබ්බෙ නෑ..

වැක්සීන් එක අරන් තුන්වෙනි දවස වෙද්දි ඇඟට අමාරුවක් ඇත්තෙම නැති ගානයි වගෙ.. ඒ හින්දා එදා උදේ මම වැඩට එන්න පිටත් උනා..

ඒත් වාහනෙ අරන් යනකොට, වැඩ කරගෙන යනකොට මට වෙනදා වැඩ කරන්න තරම් ෆිට් එකක් නෑ කියල තේරුනා.. ඒක උණ අමාරුවට වඩා කෝඩේන් අඩංගු පැරසිටමෝල් දවස් 2ක් තිස්සෙ බීව හින්දා ආව නිදිබර ගතිය එක්ක ආව තෝන්තුවක්.. ඒ හින්දා කෝඩේන් අඩංගු පැරසිටමෝල් අරන් පහුවදා වැඩට යන එක කාටත් ඇඟට ගුණ නෑ කියල මට තේරුණා.. එදා දවසෙ යුනිට් එකෙ අනිත් වෛද්‍යවරුන්ගෙ උදව්වෙන් වැඩ ටිකක් කරලා හවස ගෙදර ආවා.. ඇවිත් ආයෙත් පොඩ්ඩක් විවේක ගත්තා.. ආයෙ පැරසිටමෝල් ඕනෙ උනෙත් නෑ..

හතර වෙනි දවසෙ වැඩ කරන්න ආවා සහ අපහසුවක් තිබ්බෙම නැති ගානයි.. අද වෙනකොටනම් කිසිම අමාරුවක් නෑ..
ලංකාවෙ මුලින්ම මේ වැක්සීන් එක ගත්තෙ අපි හින්දා මමම මගෙ ලැබ් රැට් වෙලා වැක්සීන් එකෙන් පැය 48කට පස්සෙ මගෙ අක්මාවෙ, වකුගඩුවල, රුධිර සෛලවල ලේ පරීක්ෂණ ටිකක් යවලා බැලුවා.. රිපෝට් සියල්ල නෝමල්..
වැක්සීන් එක දුන්නම උණ ආව අය වගේම මෙලෝ අමාරුවක් නැති අයත් මට ආව රෝග ලක්ෂණ වලට අමතරව වමනය, බඩේ අජීර්ණය, හිසේ කැක්කුම, හුස්ම ගැනීමෙ පොඩි අපහසුවක් ආව අයත් හිටියා.. මේ අයගෙන් වැඩිපුර සතුටු උනේ කලින් කීව වගෙ මෙලෝ අමාරුවක් නැති අය නෙවෙයි.. අමාරු ආව අය.. 😁 අමාරු උනෙ නැති අයට අපි විහිලු තහලුත් කරා වැක්සීන් කියලා වතුර වෙන්නැති විදින්න ඇත්තෙ කියල…

වැක්සීන් එකක් ගැහුවම උණ ගන්න එක, මස්පිඬු වේදනා වගෙ දේවල් සාමාන්‍යයි.. පොඩි බබාලට උනත් අපිට ඔය අමාරු උනා වගේම වැක්සීන් ගැහුවම අමාරු වෙනවා. ඒත් ඉතිං එයාල කියන්නයෑ? අපිට කියන්න පුළුවන් හින්දා අපි කියනව. අපේම අය ඒ කියන අමාරු කතා අහල තවත් වැඩිහිටි සමහර අය “අම්මෝ බයේ බෑ, අපිනම් විදගන්නෙ නෑ” කියල වැක්සීන් එක ප්‍රතික්ෂේප කරනවා.. ඒත් බබාලට උනත් වැක්සීන් දීල පැරසිටමෝල් දුන්නම අමාරු අඩු වෙනව වගෙ අපිටත් එහෙම්ම අඩු වෙනව..

වැක්සීන් එකක් දෙන්නෙ ඇයි?
වැක්සීන් එකක තියෙන්නෙ යම් රෝගකාරක විෂබීජයක “කෑලි” හෝ බල රහිත කරපු සම්පූර්ණ විෂබීජය.. කොරෝනා වැක්සීන් එකෙ තියෙන්නෙ මුලින් කීව විෂබීජ කෑලි.. ඒ කිව්වෙ සම්පූර්ණම වයිරසයම නැතුව ඒකෙන් කඩලා ගත්ත කුඩා කුඩා කෑලි.. අපි කරන්නෙ මේ කුඩා කෑලි ද්‍රාවණයකට දාල සාන්ද්‍ර කරලා ඒ ද්‍රාවණය අපෙ මස්පිඬුවකින් හරි හමට යටින් තියන තෙල් තට්ටුවෙන් හරි අපෙ ලේ වලට එකතු කරන එක..

අපෙ ඇඟෙ සුදු රුධිර සෛල හැදිලා තියෙන්නෙම අපෙ ඇඟ ඇතුලට පිටින් එන ඕනෙම Alien කෙනෙක්ව අල්ලගෙන ගිලින්න. එහෙම ගිලලා ඒ Alienගෙන් අපෙ ඇඟට වෙන්න පුළුවන් හානිය වලක්වන්න. මේ විදිහට අපෙ ඇඟට දවසක් ඇතුලත උනත් හුඟක් Aliensලා විවිධ මාර්ගවලින් ඇතුලු වෙන්න පුළුවන්. ආහාර මාර්ගයෙන්, නාස් පුඩුවලින්, මුත්‍ර මාර්ගයෙන්.. මේ කොහෙන් ආවත් ඒ එන Aliensලා ඔක්කොම ටික අපෙ සුදු රුධිර සෛලවලට අල්ලගෙන විනාශ කරලා දාන්න පුළුවන් උනොත් ඒ Aliensලගෙන් අපිට හානියක් වෙන්නෙ නෑ.. විෂබීජ කියල අපි හඳුන්වන වයිරස, බැක්ටීරියාත් මේ වගෙ Aliensලා කොටසක්..

අමතක කරන්න හොඳ නෑ වයිරස්, බැක්ටීරියා ත් “අනෙ අපිව කාපං” කියල නිකං අරින්නෙ නෑ.. මෙහෙම සුදු රුධිර සෛල ගිලින්න හදද්දි ඒව මැඩගෙන අපෙ සෛල ඇතුලට යන්න පුළුවන් බලපුළුවන්කාරකම් මෙයාලටත් තියනව. එයාලගෙ බලපුළුවන්කාරකම්, සුදු රුධිර සෛලවල බලපුළුවන්කාරකම්වලට වඩා වැඩියිනම් එයාල දිනනවා.. අපෙ සෛල ඇතුලට ගිහින් ඒව විනාශ කරන හින්දා අපිට ලෙඩේ හැදෙනව. ලෙඩේ හැදිලත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දිගින් දිගටම අපිව බේරගන්න fight කරනව. දවස් කීපෙකින් හරි ඒ fight එක සුදු රුධිර සෛල දින්නොත් අපිට ලෙඩේ හොඳ වෙනව.. එහෙම fight කරලත් දිනන්න බැරි උනොත් විෂබීජවලින් අපෙ සෛල විනාශ වෙලා අපෙ ඇඟෙ පද්ධති පවා විනාශ වෙන්න පුළුවන්. අන්තිමෙ අපි මැරෙන්නත් පුළුවන්..

මම කිව්වනෙ අපෙ සුදු රුධිර සෛල එන ඕනෙම Alien කෙනෙක්ව ගිලිනව කියල.. එයාල එහෙම Aliensලා (අපෙ කතාවට අදාලව “විෂබීජ”) කාලා දාලා විතරක් නවතින්නෙ නෑ.. මේ විෂබීජ කලින් කීව වගෙ වැරදිලා හරි ගිලින හමුදාවෙන් ගැලවිලා අපෙ ඇඟෙ සෛලවලට ඇතුලු උනානම් අපෙ ඇඟේ සෛල ඇතුලෙ ජීවත් වෙන්න උන්ට ඕනෙ කරන උෂ්ණත්වය නැති කරන්න මුළු ඇඟේම උෂ්ණත්වය වැඩි කරන්න කියලා මොලේට පණිවිඩ යවනව. අන්න එතකොට අපිට උණ හැදෙනව. ඒ විතරක් නෙවෙ උන්ව මැරිලා යන්න කියල විවිධ රසායනික මුදා හරිනව. ඒ වගේම උන්ව ගිලින හින්දාත් විවිධ රසායනික ලේ වලට එකතු වෙනව. ඒ රසායනික හින්දා අපිට වමනෙ යනව, හන්දි අමාරු එනව, මස්පිඬු අමාරු එනව..

මේ අස්සෙ මේ විෂබීජයෙන්ම ආයෙත් Attack එකක් සෑහෙන කාලයකට එන එක වලක්වන්නත් එයාල වැඩ පිලිවෙලක් ගෙනියනවා. එහෙම දීර්ඝකාලීන Process එකකට යනවනම් හතුරාගෙ මූණ මතක තියෙන්න එපැයි.. අන්න ඒ හින්දා හතුරා මතක තියාගන්න, ඒ වයිරසයට හරි බැක්ටීරියාවට හරි “අවේණික වුන”, උන්ගෙ සෛලවල තියන අඬුවක, හැඩයක අච්චුවක් සුදු රුධිර සෛලවලම B කියන සෛල වර්ගයට මතක තියාගන්න පවරනව. මෙන්න මේ විදිහට B සෛලවලට මතක තියාගන්න පුලුවන් විෂබීජයක කොටස්වලට අපි ඇන්ටිජන් (Antigen) කියල කියනව..

මේ සෛල මේ විදිහට ඒ පිටපත් මතක තියාගන්නෙ ආයෙ දවසක මේ විෂබීජයම ඇඟ ඇතුලට ආවොත් ඒ මතකය ඔස්සෙ කලින්ට වඩා වේගයෙන් Activate වෙලා ඒ විෂබීජය ඉක්මනින් මරලා දාන්න.. මෙහෙම දෙවනි පාරට විෂබීජය Attack කරද්දි මේ B සුදු රුධිර සෛල කරන්නෙ තව සුදු රුධිර සෛල ලව්වා ගිල්ලවන එකම විතරක් නෙවෙ. අර කලින් මතක තියාගත්ත විෂබීජයෙ අඬුවෙ අච්චුවටම ගානට සෙට් වෙන ප්‍රෝටීන් කොකු මිලියන ගානක් එක පාර රුධිරයට මුදා හැරලා ඒ ප්‍රෝටීන් කොකුවල, විෂබීජය දවටගන්නවා අර ආවේණික අණ්ඩ හරහා. ඒ දවටගෙන, විෂබීජ ගිලින රුධිර සෛලවලට ඉක්මනින් ගෙනිහින් දෙනවා. ඒ හින්දා පලවෙනි සැරේ වගේ විෂබීජයට අපේ ඇඟ ඇතුලෙ වැඩි වෙලාවක් කරණම් ගහන්න ලැබෙන්නෙ නෑ.. ඒ හින්දා අපිට ලොකු හානියක් වෙන්න කාලයක් ඉතුරු වෙන්නෙත් නෑ.. මේ විදිහට හදන ප්‍රෝටීන කොකුවලට තමා අපි ප්‍රතිදේහ නැත්නම් දන්න සිංහලෙන් ඇන්ටිබොඩීස් (Antibodies) කියන්නෙ.

දැන් මම කිව්වනෙ වැක්සීන් එකක තියෙන්නෙ කෑලි කෑලිවලට කඩපු විෂබීජ කෑලි කියල. ඒ කියන්නෙ ඒ කෑලිවලට අපෙ ඇඟට තනියම රිංගලා අපෙ සෛලවලට හානියක් කරන්න කිසිම හැකියාවක් නෑ.. ඇත්තටම මෙතනදි වැක්සීන් එකකින් කරන්නෙ අපෙ සුදු රුධිර සෛල රවටන ඇස් බැන්දුමක්. අපෙ ඇඟට මේ විෂබීජ particles බිලියනයක් විතර එක පාර විද්දම අපෙ සුදු රුධිර සෛල දන්නෙ නෑ මේ හානියක් නැති Aliensලා සෙට් එකක් කියලා. අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකෙ කඩන් වැටෙනවෝ කියල දිව්ව හාවා වගෙ අපෙ සුදු රුධිර සෛල ටිකත් “මෙන්න හෙන පත Alien Attack එකක් මුගෙ ඇඟට ඇවිල්ලෝ” කියල දස අතෙ පණිවිඩ යවලා මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියම Activate කරනව. මෙයාලා මේ අහිංසක විෂබීජ කෑලි ටිකත් මහා ත්‍රස්තවාදීන් ගානට දාලා හෝ ගාලා ගිලිනව, මොලේට පණිවිඩ යවනව “ත්‍රස්තවාදීන් අපෙන් හැංගිලා සෛලවලට ගිහින් තියෙන්න පුළුවන්, ඒ හින්දා උෂ්ණත්වෙ වැඩි කරපං” කියල. ඒ හින්දා ඇත්ත විෂබීජයක් ගියා වගේම උණ ගන්නවා, කලින් කීව වගෙ escape උන විෂබීජ ඇති කියල හිතලා එක එක chemicals එලියට දානව. ඉතිං ඇත්ත විෂබීජයක් ගියා වගෙ ඔක්කාරෙ, කෑම අප්පිරියාව, මස්පිඬු/හන්දි වේදනාව ඇති කරනවා.. සමහරුන්ගෙ ඇඟෙ මේ රසායනික ප්‍රතික්‍රියා මේ තරම් දරුණුවට වෙන්නෙ නෑ.. එයාලට ඒ හින්දා වැඩි අමාරු එන්නෙ නෑ.. ඒ වගේම දැනට හොයාගෙන තියන විදිහට කඩි ගුල වගෙ ටක් ගාල ඇවිස්සෙන්නෙ තරුණ අයගෙ සුදු රුධිර සෛල හින්දා කොරෝනා වැක්සීන් එකෙන් වැඩිපුර රෝග ලක්ෂණ එන්නෙ තරුණ අයට, වයසට යන්න යන්න උණ වගෙ අමාරු එන ප්‍රතිශතය අඩුයි කියල‍යි කියන්නෙ..

හැබැයි මෙයාලා ඇත්තම විෂබීජ නෙවේ හින්දා කලින් වගෙ අපෙ ඇඟෙ සෛලවලට මේවයෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ.. ඒ හින්දා විෂබීජ කෑලිවලින් අපිට ලෙඩේ හැදෙන්නෙ නෑ, අපෙ අවයව හානි වෙන්නෙ නෑ. හැබැයි වැක්සීන් එකක වයිරස් කෑලි මිලියන, බිලියන ගණන් තියන හින්දා මහා ප්‍රහාරයකට මූණ දුන්න වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උපරිමෙන් වැඩ.

වැක්සීන් එකෙ අරමුණ ඇත්තටම උණ ගන්නලා අමාරු කරවන එක නෙවෙයි. වැක්සීන් එකෙ අරමුණ අර මම කීව දෙවනි process එක.. B සුදු රුධිර සෛලවල මතක අච්චු හදවන එක.. වැඩිපුර particles ගානක් තියන හින්දා මහා ප්‍රහාරයක මතකයක් විදිහට වැඩිපුර මතක තියාගන්නවා අදාල විෂබීජය ගැන…
එතකොට ඒ අච්චු ටික එක්ක මතකෙන් ඉන්න හින්දා ඇත්තම විෂබීජය අපෙ ඇඟ ඇතුලට ආව දාට ගිලින හමුදාවෙ හෙමින් වැඩ නෙවේ පටන් ගන්නෙ.. කෙලින්ම මතක සෛලවලින් හදන Antibody Attack එකට එනව. 100% efficacy තියන වැක්සීන් එකකින් එන immunity එකෙන් මේ හින්දා විෂබීජ, අපේ සෛල ඇතුලට යන්න හිතන්නත් කලින් විනාශ වෙලා යනව.. එතකොට අපිට ලෙඩේ හැදෙන්න තරම් වෙලාවක් විෂබීජ ඉන්නෙත් නෑ.. අපෙන් තව කෙනෙක්ට බෝ වෙන්න තරම් වෙලාවක් ඉන්නෙත් නෑ..

එහෙම ගත්තම වැක්සීන් එකකින් ඇත්තටම වෙන්නෙ අපිව රැකෙන එක විතරක් නෙවේ, තව අයට බෝ වෙන එක වැලැක්වෙන එක… ජනගහනයෙන් බහුතරයක් වැක්සීන් එකක් ගත්තම වෙන්නෙ වසංගතයකදි අපි රැකෙනවට අමතරව වසංගත චක්‍රය කඩලා වසංගතය පාලනය කරන්න අපිට හැකි වෙනවා.. ඒකයි TB දැන් වසංගතයක් නොවුනත් තාමත් BCG වැක්සීන් එක දෙන්නෙ. තාමත් TB ලෙඩ්ඩු හිටියත් වසංගතයක් වගෙ හැමෝටම එයාලගෙන් බෝ වෙන්නෙ නැත්තෙ BCG එකෙන් අපිට ඕනෙ ප්‍රතිශක්තිකරණය හදලා දීලා තියන හින්දා..

තව දෙයක්… වැක්සීන් එකක් දෙනකොට සමහර විට එක පාරක් විතරක් නොදී දෙපාරක්ම විදිනව. මෙහෙම කරන්නෙ අපෙ B සෛලවලට මේ විෂබීජයෙ අච්චුව බැරි වෙලා හරි අමතක වේගන යනවනම් එහෙම ආයෙ මතක් කරලා දෙන්න වගේම, තියන මතකය එක පාරක් හරි ආයෙත් ප්‍රයෝජනයට ගැනෙන බව සහතික හින්දා ඒ ඔස්සෙ B සෛලවල මතකය වැඩි කරලා එහෙම නැත්නම් Boost කරල දෙන්න.

මේ ඔක්කොම කතා කිව්වෙ මේකයි… සමහරු මට කිව්ව “අපෝ මම දන්න කොරෝනා හැදුන කෙනෙක්ටවත් ඔහොම අමාරු උනේ නෑ, වැක්සීන් ගහල දුක් විදිනවට වඩා හොඳයි කොරෝනා හදාගන්නවා” කියල… මම කලින් කීව වගෙ වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක් විදින හින්දයි හුඟක් අයට එයාලගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එහෙම අමාරුකම් හදවන්නෙ. ඇත්ත ලෙඩේදි එච්චර ගොඩක් වයිරස් ඇතුලු වෙන්නෙ නැති උනාම බොහෝ දෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔහොම දඟලන්න ඕනෙ නෑ උණ හද හද. ටක් ගාල වයිරස් එක, under control කරගන්නවා.. ඒකයි කොරෝනා හැදුන හුඟක් අයට කිසිම අමාරුවක් නැත්තෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාල කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වයිරස් එක ඇඟෙ තියනකල් අනිත් අයට බෝ කරනවා..

ඒ හින්දා කොරෝනා හැදෙන එක කිසිසේත් හොඳ නෑ, වැක්සීන් එක විදගෙන උණ හදාගන්නවට වඩා.. අනික කොරෝනා හැදුනොත් කාටද අමාරු වෙන්නෙ, කාටද අමාරු නොවෙන්නෙ කියල අපිට කලින් පුරෝකථනය කරන්න බෑනෙ.
ඒ හින්දා ඒ risk එක ගන්න එකනම් එච්චර නුවණක්කාර වැඩක් නෙවෙයි වගේම වසංගතය මර්දනය කරන්න නොදී කරන සමාජ අපරාධයක් වෙන්නත් පුළුවන්..

(කොරෝනා වැක්සීන් එකේ පලවෙනි dose එක දුන්නම ආරක්ෂාව එන්න දවස් 22ක් යන බවත්, ඒ එන ආරක්ෂාව දවස් 90ක් පමණ තියන බවත් හොයාගෙන තියනව. දෙවනි dose එක දුන්නම ඒ ආරක්ෂාව අවුරුද්දක් වෙනකල් දීර්ඝ වෙනව කියලයි හොයාගෙන තියෙන්නෙ. අවුරුද්දක ආරක්ෂාවක් ජනගහනයෙන් බහුතරයකට එනව කියන්නෙ වසංගතයක් නවත්තන්න හොඳටම කාලය ඇති. අවුරුද්දෙන් පස්සෙ B සෛල මතකය අඩු වීම හෝ කොරෝනා අළුත් ප්‍රභේදයක් ඒම සිදුවිය හැකියි. නමුත් ඒ කෝකට උනත් හොඳින් සූදානම් වෙලා අළුත් වැක්සීන් එකක් හදාගන්න උනත් මේ අවුරුද්දක කාලය යොදවගන්න විද්‍යාඥයින්ට පුළුවන්.

කොරෝනා කලින් හැදුන අයටත් මේ වැක්සීන් එක ගන්න පුළුවන්. මොකද කොරෝනා වයිරසය ඇඟට ආ පමණින් වයිරස ලොකූ ප්‍රමාණයක් ඇඟට ආවොත් මිසක මම මුලින් කීව Antibodies අපිට ඕනෙ ප්‍රමාණයෙන් අපෙ ඇඟෙ හැදිලා නෑ වෙන්න පුළුවන්. හැදිලා තිබුණත් වැක්සීන් එකෙන් වෙන්නෙ ඒ මතකය boost කරල දෙන එක.

ඒ වගේම මේ වැක්සීන් එකට මම ඔය මුලින් කීව සිද්ධාන්ත ඔක්කොම එක්ක වැඩ කරනවද කියල තවමත් 100%ක් තහවුරු කරගෙන නෑ. ඒ හින්දා වැක්සීන් එක ගත්තා කියන්නෙ ඒ ගමන්ම අපිට මාස්ක් අත ඇරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියන එක නෙවේ. මොකද මේක වසංගතයක්. තාමත් අපි අවට වයිරසය විශාල ප්‍රමාණයෙන් සංසරණය වෙනව. එහෙම එකේ වැක්සීන් එකෙ effectiveness එක ඊට වඩා අඩු උනොත් එහෙම අපිට ලෙඩේ බෝ වෙන්න පුළුවන්, වයිරසයත් අපෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහු නොවෙන අළුත් අඩුවක් හදාගෙන අලුත් varient එකකින් අපිට Attack කරන්න පුළුවන්. අනික වැක්සීන් එකකින් කරන්නෙ ඇඟට එන විෂබීජයෙන් අපිට හානියක් නොවෙන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඉක්මනින් ඉවත් කරල දෙන එක හින්දත් හැමෝගෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එක වේගෙන් මේ වැඩෙ නොකරන හින්දත් වැක්සීන් එකෙන් පස්සෙත් අපිට අඩු severity එකකින් ලෙඩෙ එන්නත්, අපෙන් අනිත් අයට බෝ වෙන්නත් පුළුවන්.

මේ හින්දා වැක්සීන් එකෙන් වසංගතය පාලනය වෙනකල් අපිට මාස්ක් පලදින්න, කලින් ගත්ත precautions ගන්න වෙයි)
අපි වසංගතයක් වලක්වගන්න ඕනෙ ඒකෙන් අපිට ලෙඩ වෙන හින්දා විතරක්ම නෙවෙයි. වසංගතයක් කියන්නෙ අපි හැමෝගෙම ආර්ථිකයට, අධ්‍යාපනයට, මානසික සෞඛ්‍යයට, සමාජ සම්බන්ධතා වලට වද දෙන පිලිලයකුත් වෙන හින්දා.. ඉතිං අපි හැමෝම එකතු නොවුනොත් කවදාවත් අපිට වසංගතයකින් වෙන මේ පාඩුත් මඟ ඇරගන්න බෑ.. බය නැතුව නෑදෑ හිත මිත්‍රාදීන් ආශ්‍රය කරන්න පුළුවන්, මාස්ක් නැතුව ලස්සනට ලිප්ස්ටික් ටිකක් ගාල, රැවුලට හොඳ කට් එකක් දාල යන්න පුලුවන් දවසක් මෑත අනාගතේ දකින්න බෑ.. වගේම most importantly අපේ ලඟම හිතවතෙක් වසංගතයට ගොඳුරු වෙලා වෙන මරණයක් අපිට වලක්වන්න බෑ..

ඒ හින්දා අපි සුළුතරයකට හානියක් වෙන්න පුළුවන් උනත් (වැක්සීන් එකට එන Allergies වගෙ හානි) මුළු සමාජයකට ලොකූ වැඩක් වෙන හින්දා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් දෙන පොඩි දවස් ගානක අමාරු ගැන නොහිතා වැක්සීන් එක ගන්න එක හොඳයි කියල මට හිතෙනව..

ඒ ගමන්ම මම නැවතත් මතක් කරනව, මේ වැක්සීන් එකෙ අවදානම් සියල්ල අඳුනාගෙනද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. දීර්ඝකාලීන බලපෑම් තවමත් හොයාගන්නත් බෑ. මොකද වසංගතයටම තවම වයස අවුරුද්දයි. ඒ හින්දා වාසි, වගේම අවදානමකුත් තිබිය හැකියි…

මම වැක්සීන් එක ගත්තෙ ඒ අවදානම් දැනගෙනද ඇහුවොත් මගෙ උත්තරෙ “ඔව්”. ඒ ඇයි ඇහුවොත් “වසංගතයක් නිමා කරන්න ගත හැකි සාධාරණ, විද්‍යාත්මක පියවර හැම දේකටම මම උදව් කරන්න කැමතියි. සමාජයක අනාගතය කියන සංකල්පය ඇතුලෙ මම සහ මගෙ ජීවිතය කියන්නෙ එක අංශු මාත්‍රයක් විතරයි. ඒ හින්දා මම සහ මගෙ පවුලත් ඇතුලත් සමාජයේ යහපතට මට දෙන්න පුළුවන් සත දෙක වැක්සීන් එක ගන්න එකනම් මම ඒ සත දෙක දෙන්න වැඩිය හිතන්නෙ නෑ..”

ඒත් මගෙ තීරණය ඔබේ තීරණය විය යුතු නෑ.. ඒ හින්දා වාසි අවාසි සියල්ල සලකලා බලලා, රැල්ලට නොගිහින් ඔබට වඩාත් සුදුසු තීරණය ගන්න.

මගෙ එකම උපදෙස ඔබ වැක්සීන් එක ගන්නවානම් පවුලෙ ඔක්කොම එක පොදියට ගන්න එපා. උණ තියන වෙලාවට මාව බලාගන්න කට්ටිය හිටපු එක මට ලොකූ හයියක් උනා. ඒ හින්දා හැකියාවක් තියේනම් බෝඩින් වල ඉදගෙන, පහුවදා වැඩට යන්න බලන්, තනියම විදගන්න එපා. අපිට වගෙ හදිසියෙ නෙවෙයි, ඔබට වැක්සීන් ලැබෙන්නෙ. ඒ හින්දා ලැබෙන දිනය වෙද්දි හොඳ සැලසුමක ඉන්න පහුවදා විවේකය එක්ක, ඔබ ලඟින් කවුරුන් හෝ ඉන්න පුළුවන් විදිහට කියල යෝජනාවකුත් කරන ගමන් දිග කතන්දරෙ දැන්වත් මම ඉවර කරනව 😁

වෛද්‍ය ප්‍රාර්ථනා ලියනආරච්චි

Facebook Comments