free hit counter

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව BBC වාර්තාවක් එළියට

තමන් බලයට පත්වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ දුන් ප්‍රධානම ප්‍රතිඥා දෙකකි.

බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය.

මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

“රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා,” ඔහු පැවසීය.

ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකරු හෝ මහ මොළකරුවන්’ කවුද? එයට අනුබල දුන්නේ කවුද?

‘ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ’
ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, අඩුම තරමින් එක් සැකකාරියක් ඉන්දියාවට පලා ගොස් තිබේ.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ “මහ මොලකරු” හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසම හමුවේ අවසාන දින කිහිපයේ දී සාක්ෂි දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන් ද සැක කරන බවය.

ඔහු ඒ බව කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව විමසූ අවස්ථාවේදී ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිස් විමර්ශන භාරව සිටි නිලධාරියාය.

සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව ඊට පෙරාතුව ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන “අසම්පූර්ණ” බවත් අවධාරණය කළේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සඳහන් කළේ, “ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්,” යනුවෙන් විස්තර කළේය.

“අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්.”

“මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව”

ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ.

එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, “මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව,” යනුවෙනි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය:

හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ
ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත’ යන්නය.

2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය
එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා’ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි
ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ.

පොලිසිය මෙතෙක් ‘සාරා’ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි
එම “ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ
නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ,” යනුවෙන් පැවසීය.

“ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ.”

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශයෙන් අනතුරුව, මාධ්‍යවේදියෙක් කළ විමසීමකට පිළිතුරු දුන් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් “පොලිසිය විසින් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා” මේ වනවිට සැකකරුවන් 32 කුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ගොනු කොට තිබෙන බවය.

තවත් සැකකරුවන් 241 රැඳවුම් සහ රිමාන්ඩ් භාරයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාවේ ඔත්තු සේවය ද සමඟ සම්බන්ධ වී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සහ “අන්තර්ජාතික ජාලයක් ඇති කොට” තිබෙන බවක් සඳහන් කළ නමුත් ‘සාරා’ ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ ද යන්න ගැන අමාත්‍ය සරත් වීරසේකර සෘජු පිළිතුරක් නොදුන්නේය.

– BBC සිංහල –

Facebook Comments