free hit counter

ඉනිමක පරාජයක් සමගින් ලබා ගත් ඉන්දියාවේ පළමු ක්‍රිකට් ජයග්‍රහණය

1952 පෙබරවාරි 08 වන දින ඉන්දියාවට ඓතිහාසික දිනයක් විය. ඒ ඔවුන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීමයි. ඉන්දියාව ඒ වනවිට ටෙස්ට් තරඟ 24 කට සහභාගී වී සිටි අතර මේ 25 වන තරඟය විය.

එංගලන්තය හා ඉන්දියාව අතර තරඟ 5 කින් යුත් තරඟාවලියේ පස්වන තරඟය ඉන්දියාවේ එවකට මදුරාසිය ලෙස හැඳින්වූ චෙන්නායි හි සුප්‍රසිද්ධ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබිණි.

ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්නේ විජය හසාරේ වන අතර එංගලන්ත කණ්ඩායම ඩොනල්ඩ් කාර් විසින් මෙහෙයවන ලදී.

පළමුවෙන් පන්දුවට පහර උන් එංගලන්ත කණ්ඩායම ලකුණු 266 කට සීමා විය. ජැක් රොබට්සන් ලකුණු 77 ක් ලබා ගත අතර වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක විනෝ මන්කාඩ් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 55 කට කඩුලු 8 ක් දවා ගනිමින් ඉන්දියාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමන ලදී.

ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 457 ක් ලබා සිටියදී අතරමග නවතා දමා එංගලන්තයට සිය දෙවන ඉනිමට පන්දුවට පහර දෙන ලෙස ආරාධනා කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ පන්කාජ් රෝයි ලකුණු 111 ක් ද පොලි උම්රිගාර් ලකුණු 130 ක් ද රැස් කළේය.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 183 කට දවාගන්නට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය. නැවත වතාවක් එංගලන්ත ඉනිම විනාශ කළ විනෝ මන්කාඩ් කඩුලු 4 ක් දවාගත් අතර ගුලාම් අහමඩ් ද කඩුලු 4 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ඉන්දියාව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය ඉනිමකින් සහ ලකුණු 8 කින් ලබා ගැනීමට සමත්විය.

Facebook Comments