free hit counter

බැසිල් සහ ආණ්ඩුව

විමල් පාර්ශවය සහ පොදුවේ ආණ්ඩුවට සහය දෙන අවංක ජාතිමාමක බලවේග පවා කරන මාරාන්තික වරදක් වන්නේ බැසිල්ට ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් කළ හැකි මෙහෙය අවතක්සේරු කිරීමයි. අවංක ජාතිමාමක බලවේග නිතරම කරන වරදක් නම් ජාතිද්‍රෝහී බලවේගවල ශඛ්‍යතාවය අවතක්සේරු කිරීමයි. ඒ නිසා අවංක ජාතිමාමක බලවේගවල සහායෙන් පමණක් ආණ්ඩුව පවත්වාගෙන යා හැකි යැයි ඔවුහු සිතති. එය වරදකි. ජාති ද්‍රෝහී බලවේගවලට කළ හැකි දේ බොහෝ වේ. ඒ බලවේගවලට මහජනයාගේ ඇත්ත දුක්ගැනවිලි තමන්ගෙ විසකුරු අරමුණු වෙනුවෙන් යොදාගැනීමට පුළුවන. එසේම විවිධ ජාත්‍යන්තර බලවේග උසිගන්වා ඒව මගින් ලංකාව මත තෙරපුමක් ඇති කොට ආණ්ඩුව දුර්වල කර දැමීමට පුළුවන. මේ නිසා රට අභ්‍යන්තරයේ විවිධ ජාති ද්‍රොහී බලවේග මහජනයාගේ දුක්ගැනවිලි තම පටු අවශ්‍යතා සදහා අවභාවිත කරන විට ඒවාට මැදිහත් වී එම උත්සාහයන් පරාජය කිරීමේ හැකියාව ඇත්තේ බැසිල්ටයි. උදාහරණ ලෙස 2012 දී එස්බී වැනි මෝඩ සහ උද්දච්ච පිරිස් FUTA සංවිධානය සමග අනවශ්‍ය විරසකයක් ඇති කරගෙන ආණ්ඩු විරෝධී බලවේග වලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කරේ නැගී මහපාරවල බඩපිනුම් ගැසීමට අවස්ථාව සලසා දී තිබූ අවස්ථාවේ මා වැනි අය ගොනාට අන්දා ඒ උත්සාහය පරාජය කිරීමට හැකි වූයේ බැසිල්ගේ උපායශීලී ඥානය නිසාය. ඔහුට අදාළ කාර්යය භාර වුනේ එස්බී වැඩේ චොර කර බොහෝ කලක් ගත වූ පසුව නිසා ඒ වනවිටත් විය යුතු දේ වී හමාර වී තිබුණි. එය බැසිල්ගේ වරදක් නොව, බැසිල්ගෙන් නිසි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම නිසා වූ වරදකි.

එසේම ඉන්දියාව වැනි ලංකාවට බෙහෙවින්ම අවාසිදායක ලෙස ජාති ද්‍රෝහී බලවේගවලට වාසි දායක ලෙස ක්‍රියා කිරීමේ විභවය සහිත පාර්ශව සමග මිත්‍රශීලී ලෙස ගණුදෙනු කොට ජාතික අභිලාෂ වලට හානි වීම වලක්වාගත හැක්කේ ජාතිමාමකයින්ට නොව බැසිල්ට ය.

මහින්ද පතිරණ මහතා නිවැරදිව ප්‍රකාශ කර තිබූ පරිදි 2005 කොටි සංවිධානය කළමණාකරණය කිරීමේ හැකියාව තිබුණේ ද බැසිල්ට පමණි. වෙන කිසිවෙකුට නොවේ. බැසිල්ට පමණක් ආණ්ඩුව රැකගැනීමට නොහැකි බව ඇත්තය. එහෙත් බැසිල් නැතිව අවංක ජාතිමාමකයින්ගේ අවංක කමට පමණක් ආණ්ඩුව රැකගැනීමට ද නොහැකි ය.
අපේ අවංක ජාති මාමකයෝ අර “මේ ආදරයයි” ටෙලි නාට්‍ය යේ එන ප්‍රධාන පවුල් දෙක මෙන් හැමෝම තමන් මෙන් අවංක ය යන මෝඩ කල්පනාව නිසා නිතරම අමාරුවේ වැටෙති. ජාති ද්‍රොහී බලවේග වල කිසිම අවංකභාවයක් නොමැති බව ඔවුන් දැන්වත් තේරුම් ගත යුතු ය.

මේවා තේරුම් ගන්නේ නැත්තනම් සිංහල-බෞද්ධයාට අබ සරණම ය.

මහාචාර්ය නිර්මාල් දේවසිරි

Facebook Comments