free hit counter

කටාර් සිට මෙහෙයවෙන විමල් වීරවංශගේ යටිකූට්ටු ජාවාරම

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණේ නායකයන් අතර නිර්මාණය වී ඇති වෛරී දේශපාලන සංවාදය තවමත් අවසන් වී නැත. මෙහිදී ජානීපෙ වෙත එල්ලවූ එක් චෝදනාක් සම්බන්ධව මාගේ අවධානය යොමු කරමි. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේනුක පෙරේරා මහතාට අනුව විමල් පිටුපස සිටින වෛද්‍යවරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔත්තු සේවාවලින් වැටුප් ලබන ඔත්තුකරුවන් දෙදෙනෙකි.විමල් පිටුපස සිටින වෛද්‍යවරුන් දෙදෙනා ලෙස ඔවුන් පවසන්නේ ජානීපෙ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හා මධ්‍යම කමිටු සමාජික විශේෂඥ වෛද්‍ය අතුල සුමතිපාල මහතා විය යුතුය.එසේම බැසිල් පාර්ශ්වයේ තවත් ප්‍රබලයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබුණේ ජානීපෙ තුළ සිටින ඔත්තුකරුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා බවයි.

කෙසේ නමුත් ජානිපෙ ආරම්භයේදී පක්ෂ තුළ ඔත්තුකරුවන් සිටින බවට කිසිවෙකුට සැක සංකාවක් තිබුණේ නැත.සුපුරුදු ලෙස විමල් විසින් බැසිල් රාජපක්ෂ,ඩලස් අලහප්පෙරුම, පී.බී ජයසුන්දර,මිලින්ද මොරගොඩ ඇතුළු බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර ඔත්තුකරුවන් බවට ලේබල් අලවමින් පක්ෂය තුළ දේශන පවත්වමින් සිටියේය.ඇතැම් දේශපාලන මණ්ඩලය සාමාජිකයන් ඒවා අඩු වැඩි වශයෙන් බාරගෙනද තිබිණි.එක් වෙලාවකදී බැසිල් සම්බන්ධව සංවාදයක් මතුවූ අවස්ථාවකදී පියසිරි හා වීරකුමාර සහෝදරයන් නැගූ තර්කය වූයේ මහින්ද හෝ ගෝඨාභය හෝ නොදැන බැසිල් ඔත්තුකරුවෙකු වන්නේ කෙසේද කියායි.ඒ වනවිට බැසිල් මෙන්ම ගෝඨාභයද ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකි.එම ප්‍රශ්න කිරීම හමුවේ පියසිරි හා වීරකුමාර දෙදෙනාද ඔත්තුකරුවන්ගේ ගොඩට දමා සැළකීමට විමල් කටයුතු කළේය.

කෙසේ නමුත් 2013 වසර වනවිට පක්ෂය තුළට ඔත්තුකරුවන් රිංගා ඇති බවට චෝදනාවක් පාර්ශව කිහිපයකින්ම එල්ලවන්ට විය.විමල් ඔත්තුකරුවන් ලෙස හැදින්වූයේ වීරකුමාර,පියසිරි,නිමල් පේමවංශ,නිමල් පියතිස්ස,එස් දමිපහල(වත්මන් පක්ෂ ලේකම්) යන අයයි.ඒ සම්බන්ධව අද දේශපාලන මණ්ඩලයේ සිටින නිමල් චන්දන සහෝදරයා සාක්ෂි දරනවා ඇත.ඔවුන්ගේ හැසිරීම සම්බන්ධව විමසිලිමත්ව සිටීමේ වගකීම පැවරුණේ මාහටය.නමුත් මෙහිදි මවිසින් එක් දෙයක් කළේය.එයටද නිමල් චන්දන සහෝදරයා සාක්ෂි දරනු ඇත.මා කළේ විමල්ට ඉහත සහෝදරවරුන් ඔත්තුකරුවන් යැයි ප්‍රකාශ කරන මූලාශ්‍රය සොයා යෑමයි.යම් ජීවිත අවධානමක් තිබුණද ජානීපෙ තවත් සහෝදරයකුගේ උදව් සහිතව අප එය සොයා ගෙන ගියෙමු.

ඊට අමතරව විමල්ගේ අනුදැනුම සහිතව ඉහත සහෝදරවරුන් පස් දෙනා සමඟ විශේෂ සමීපකමක්ද ගොඩ නගා ගත්තෙමි.ඔවුන් ඔත්තුකරුවන් නොවන බව මා විමල් ඉදිරියේ ඔප්පු කර පෙන්නුවේය.වීරකුමාර හා පියසිරි සහෝදරවරුන්ගෙන් විමල් සමාව ගත්තේය. අනෙක් තිදෙනා ඔවුන් ඔත්තුකරුවන් බවට සැක කරමින් විමල් කටයුතු කළ බව දන්නේ මෙම ලිපියෙන් පසුව විය හැකිය.විමල් පියසිරි හා වීරකුමාරගෙන් සමාව ගත් දින දේශපාලන මණ්ඩලය තුළ සිටින අයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මතුවන සැකයක් සම්බන්ධව වීරකුමාර දිසානායක සහෝදරයා විමල්ට උදාහරණ සහිතව ලේඛණයක් ඉදිරිපත් කරනු ලැබුවේය.මෙහිදී මා එක් සත්‍යයක් දුටුවෙමි. එනම් පක්ෂයට බාහිරින් සිටින පුද්ගලයෙකු විසින් විමල් මෙහෙයවන බවයි.ඊට අමතරව පියසිරි හා වීරකුමාර සහෝදරයන් ඔත්තුකරුවන් බවට වූ මතයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද සිටි අතර ඔහුද විමල්ගේ මතය පෝෂණය කිරීමට දායක වී තිබිණි.

මා විසින් විමල් මෙහෙයවන එම පුද්ගලයා ලග ජානීපෙ සහෝදරයෙක් ඉතා සූක්ෂම ලෙස ස්ථාන ගත කළේය.මම අදත් ඔහුගේ නම නොකියන්නේ ඔහුට ඇති ජීවිත තර්ජනය නිසාවෙනි.පසුව ඔහු මට දිනෙන් දින තොරතුරු සපයන ලදී.ඒ තුළ දැවැන්ත ඔත්තු ජාලයක් ක්‍රියාත්මකව බව ඔහුගේ තොරතුරු වලින් මාහට තහවුරු විය.ඇතැම් විට අපේ සහෝදරයා ඔවුන් සමඟ කළ දුරකතන සංවාදවලටද මම සවන් දුන්නෙමි.කෙසේ නමුත් එම ජාලයේ මුලිකයන් ඉන්දියාව,චීනය හා කටාර් යන රටවල ස්ථාපිතව සිටින බවත් ඒ තොරතුරුවලින් සහතික විය.එය මෙහෙවනු ලැබූවේ කටාර් රාජ්‍යය පදනම් කරගෙනය.ඔවුන් කළ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධව මා හට දෛනිකව තොරතුරු ලැබුණු අතර ඒවා අතර අතිශය බිහිසුණු ඒවාද විය,කෙසේ නමුත් මට අවශ්‍ය වූයේ විමල් මෙම ජාලයෙන් බේරා ගැනීමටය.

එක් විටක මා මේ සියල්ල විමල්ට කීවේය. විමල්ගේ ඇගේ මයිල් කෙලින් වුනේ එවිටය.ඒ වනවිට විමල් තම නිවසේ ගත නොකළ අතර ඉහත ඔත්තු ජාලයේ තැනක නවාතැන කරගෙන සිටියේ.විමල්ට අවශ්‍ය සියල්ල එහි තිබිණි.විමල් මට එහිදී පැවසුවේ තමන් එළියට ගිය පසු තමන්ගේ කාමරයට වෙන අයෙකු ඇතුළු වන බව තමන්ට සහතික බවයි.ඊට අමතරව ඔවුන් හරහා විමල්ට ලැබුණු ජංගම දුරකතනයක ඔවුන්ට අවශය ලෙස පාස්වර්ඩ් වෙනස් කර ඇති බවත් විමල් මට කීවේය.කෙසේ වුවත් විමල් අවසානයේදී මාගෙන් ඉල්ලා සිටියේ තමන් සතියකට විදෙස් ගත වන බවත් නැවත පැමිණෙන විට සියල්ල වෙනස් කර තබන ලෙසත්ය.ඔහු නැවත පැමිණෙන විට මා සියල්ල වෙනස් කලේය.ඒ වනවිට විමල්ගේ රියදුරා ලෙස පවා කටයුතු කළේ ඉහත ඔත්තු සේවාවට සම්බන්ධ අය විසින් ලබාදුන් රියදුරෙකි.විමල් පැද්දේද ඔවුන්ගෙන් ලද වාහනයකි.

කෙසේ නමුත් විමල් ලංකාවට එනව්ට විමල්ට නැවතීමට තැනක් සොයාගත නොහැකි විය. එම නිසා විමල් නැවත කෙටි කාලයකට තම නිවසට ගියේය.විමල්ගේ සියල්ල වෙනස් කිරීම නිසා මා හට අදාල පාර්ශවයෙන් තර්ජනයක්ද පැමිණි බව දැනුදු ජනිපේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සහෝදරයෙක් දනී.කෙසේ නමුත් එම ජාලයේ මහ ලොක්කා වන කටාර් ජාතිකයා ලංකාවට පැමිණෙන බවට මට තොරතුරු ලැබුණු අතර ඒ සදහා විමල්ද කැදවා තිබිණි.එය රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස යොදාගෙන තිබිණි.ඉහත ජාලයට සම්බන්ධ බොහෝ දෙනා එතනට පැමිණීමට නියමිතව සිටියේය.මා විමල්ට ඒ බව දැන්වූ අතර විමල් එහි නොයන බව කී අතර විමල් මට පේන්න එම වෙලාවට වෙන වැඩක්ද යොදා ගත්තේය.

පසුව අපේ සම්බන්ධය හරහා විමල් එහි නොඑන බව ඔවුන්ට දන්වන ලදී.එම පණිවිඩය දුන් අදාළ පුද්ගලයා අප සහෝදරයා සමග පැවැත්වූ දුරකතන සංවාදයටද මා සවන් දුන්නේය.ඔහු කීවේ අද විමල් සහෝදරයා ප්‍රියන්ජිත් සහෝදරයා එක්ක වැඩක් දාගෙන, ඒක නිසා ඔතන වැඩේට එත්න බැරි වෙයි කියාය.එවිට ඒ පසින් ලැබුණු පිලිතුර වූයේ එයා කොහේද නෑවිදින් ඉන්නේ ඒක මම බලා ගන්නම් කියාය.අපද එදා රෑ ඒ ගැන උනන්දුවෙන් පසුවිය.විමල් රෑ අපට හොරෙන් එහි ගියේය.නමුත් කාටර් ඔත්තුසේවයට වඩා අපේ ඔත්තු සේවය බලවත් විය.විමල් එහිදී කළ සියල්ල මා දැන ගත්තේය.පසුව මම විමල්ගෙන් ප්‍රශ්න කළ විට විමල් කීවේ එහි නොගිය බවයි.නමුත් මා පෙරලා සියල්ල කියූ විට විමල් එහි ගිය බව පිලිගත්තේය.විමල් ඔවුන් අතර නැටවුණේ එලෙසිණි.

අදාළ පුද්ගලයා ජානීපෙ මධ්‍යම කාරක සභාවට ගත යුතු බව විමල් යෝජනා කළද අප එය ප්‍රතික්ෂේප කළේය.එහෙත් ඒ වනවිටත් ඔහු විමල් සමග යම් දුරක් පක්ෂය තුළ පැමිණ සිටි අතර පක්ෂයේ දිස්ත්‍රික් නායකයෙකු ලෙස පත්ව සිටියේය.තත්වය නරක අතට හැරෙන නිසා විමල්ගේද එකඟතාව මත ප්‍රශ්නය දේශපාලන මණ්ඩලයේ කතා කරන ලදී.2017/05/24 දින අදාළ පුද්ගලයා පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.නමුත් ඔහු විසින් විමල් බ්ලැක් මේල් කර ඇති නිසා තීරණය ගත්තද එය ක්‍රියාවට නැංවීමේ බලය මාහට පවරන ලදී.පසුව මා 2017 නොවැම්බර් මස ඔහු පක්ෂයෙන් ඉවත් කරන ලදී.ඒ පණිවිඩය දන්නවා ඔහුට යැවූ කෙටි පණිවිඩය අදටද මාගේ දුරකතනයේ ඇත.නමුත් මේ කාලය තුළ විමල් හා මා අතර ඇතිවූ දේශපාලන සංවාදය උග්‍ර තැනකට පත්ව තිබූ අතර විමල් මවිසින් ඉවත් කළ කටාර් ඔත්තු ඒජන්තයාගේ ඉවත් කිරීම අවලංගු කර නැවත ඔහු තුරුළේ සැතපීමට ගියේය.මම පක්ෂයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය.

කෙසේ නමුත් විමල් ඔවුන් අතර සුරතලෙකු වී සිටි බව මා දන්නා සත්‍යයකි.නමුත් ජානීපෙ තුළ ඔත්තුකරුවාගේ කතාව මෙතනින් අවසන් නැත.එහි තවත් පරිච්ඡේද බොහෝ ඇත.මෙය පැවසීම මගේ ජීවිතයට තර්ජනයක් බවද මම දනිමි.කෙසේ නමුත් ජීවත්ව සිටියහොත් එය රටට හෙළි කළ යුතු බව මගේ අදහයි.

– ප්‍රියන්ජිත් විතාරණ.

Facebook Comments