free hit counter

මේ විමල් වීරවංශට පහර දීමක් නොවෙයි

මේ ආණ්ඩුව බලයට පත්කෙළේ කවුද? මට නම් හිතෙන්නෙ ඒක සාකච්ඡා කරන්නවත් ඕන ප්‍රශ්නයක් නෙවෙයි කියල. ආණ්ඩුව බලයට පත් කෙළෙ මෙරට මිනිසුන්, සිංහල මිනිසුන්. දෙමළ මිනිසුන් යම් ප්‍රමාණයක් හවුල් වෙන්න ඇති. ඒත් මූලික වශයෙන් ම සිංහලයන්. සිංහලයන්ට තවමත් හරියට ම සිංහලයන් හැටියට හිතන්න බැරි වුණත් ඔවුන් ඒ විධියට හිතන්න පටන් අරන්. ඒ ප්‍රවණතාව වැඩි කරන්න ඕන.

මේ ආණ්ඩුව පත්කළේ විමල්වත් දිනේෂ්වත් වාසුවත් ගම්මන්පිලවත් බැසිල්වත් මහින්දවත් ගෝඨාභයවත් නො වෙයි. ඔවුන් ඒ ඒ අවස්ථාවල දි දායක වෙන්න ඇති. එහෙමත් නැත්තන් මල් වට්ටියට අත ගහන්න ඇති. ඒත් මල් කඩල වට්ටිය සකස් කෙළෙ සිංහල මිනිසුන්. තවත් කියනව නම් යම් ජාතිකත්වයක් ඇති කරගෙන තියෙන සිංහල මිනිසුන්. ඒ ජාතික ව්‍යාපාරයවත් නොවෙයි. ජාතික ව්‍යාපාරයත් මෙතන දි අනවශ්‍ය අහිමි ගෞරවයක් ලබා ගන්න ඉදිරිපත් වෙන්න ඕන නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් කෙළෙ කිසිම දේශපාලනඥයෙක් නූණට පහුගිය 2010 ආණ්ඩුව කඩා දැම්මෙ නම් බලයෙන් උදම් වෙලා ජාතිකත්වය අමතක කරපු ඉහත නම් සඳහන් දේශපාලනඥයන්ගෙන් කිහිප දෙනකු හා තවත් එවැනි දේශපාලනඥයන්. මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂයෙන් යන්න සලස්සල ඔහු විදේශිකයන් අතට පත් කළ අය එක් පැත්තකින් වග කියන්න ඕන. 2010 ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය තමන්ට ලැබුණු පෞද්ගලික ජයග්‍රහණයක් හැටියට සලකල ජාතිකත්වය පයට පෑගෙන දූවිල්ල ලෙස සලකපු දේශපාලනඥයන් හිටිය. ඔය දේශපාලනඥයන් මතක තියාගන්න ඕන කාරණය තමයි මෙරට සිංහලයන් අතර දැන් වර්ධනය වෙමින් පවතින ජාතිකත්වය සමග සෙල්ලම් කිරීමට බැරි බව. අද කිසිවකුට ජාතිකත්වයට කොකා පෙන්නන්න බැහැ.

2010 ආණ්ඩුවෙ නොපණත්කම් නිසා විජාතික බලවේග ඉදිරිපත් කළ මෛත්‍රිපාල සිරිසේන ජාතිකත්වයේ නියෝජිතයා ලෙස ඇතැම් සිංහලයන් සැලකුව බව ඇත්ත. විජාතික බලවේග කල් යල් බලා සිරිසේ්න තෝරගෙන තිබුණ. සිංහල මිනිසුන් 2010 ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට මෛත්‍රිපාලට ඡන්දය දුන්න. මිනිසුන්ට අවශ්‍ය වුණෙ නැහැ ආණ්ඩුව පරාද කරන්න. පාඩමක් උගන්වන්න පමණයි අවශ්‍ය වුණෙ.

නමුත් පාඩම දුර දිග ගියා. මහින්ද පරාද වුණා. එසැණින් මිනිසුන් තේරුම් ගත්ත තමන්ටත් වැරදිල බව. තමනුත් පැරදිල බව. මිනිසුන් මැදමූලන යන්න පටන් ගත්තෙ කාගෙවත් මෙහෙයවීමකින් නො වෙයි. ඔවුන් පැරදුණ දාට පහුවෙනි දා ම යන්න පටන් ගත්තා. ඒ සමහරු පිටරට යද්දි. තමන්ට වෙච්ච වැරුද්ද ගැන සමාව ගන්නත් පුළුවන් නම් වරද නිවැරදි කර ගන්නත් තමයි මැදමූලන ගියෙ. ඒත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්‍ෂෙප කිරීමට කිසිවකුටවත් නො හැකි වුණා පමණක් නොවෙයි කිසිවකුටවත් එවැනි වුවමනාවක් තිබුණෙත් නැහැ.

ඒත් වැරැද්ද පාඩමක් උගන්වන්න ඡන්දය දීපු මිනිසුන්ගෙ නොවෙයි. මිනිසුන් ඒ තැනට පත්කරපු බලයෙන් මත් වූ දේශපාලනඥයන්. කොටි පරාද කරල බලයට පත්වෙච්ච ආණ්ඩුවක් වැඩ කරන්න තිබුණ විධියට නොවෙයි 2010 ආණ්ඩුව වැඩ කෙළෙ. ඒ කොහොම වුණත් මහින්ද නැවත බලයට පත් කරන්න ඕන කියන කතාව බොහෝ දෙනකුට පැරදුණ දවසෙ ඉඳල ම තිබුණ. මා හිතන විධියට ඒ සම්බන්ධයෙන් මුලින් ම ප්‍රසිද්ධ ව කතා කෙළෙ එව බලව සංවිධානය. ඔවුන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා මහින්ද සමග පෙරට හරි එවැනි තේමාවක් යටතෙ. මට හරියට ම තේමාව මතක නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ ගෞරවය එව බලව සංවිධානයට හිමි විය යුතු බවක් නො වෙයි මා කියන්නෙ.
ඊට පස්සෙ සුප්‍රසිද්ධ නුගේගොඩ රැස්වීම පැවැත්තුව. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් නොවෙයි. දිනේෂ්, විමල් වාසු හා ගම්මන්පිල. ඒ රැස්වීමට මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න මැදමූලන ගිය අයට රාජපක්‍ෂලාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක නොවෙයි. මට ලැබුණු තොරතුරු අනුව ශිරන්ති රාජපක්‍ෂ නොහිටින්න ප්‍රකාශයක් ලැබෙන්නෙ නැහැ. ඒ ප්‍රකාශය නුගේගොඩ රැස්වීමෙ දි කියවන්න අද වීරයන් වෙලා ඉන්න කිසිවකු ලැහැස්ති වෙලා හිටියෙ නැහැ. අවසානයෙ දි සංවිධායකයන් තමන් දේශපාලන විද්‍යාඥයකු යැයි කියා ගන්නා නිතර දෙවේලේ පැති මාරු කරන දයාන් ජයතිලක තෝරා ගත්තා. එදා ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ගෙන් වේදිකාවට නැග්ගෙ මට මතක හැටියට දිලුම් අමුණුගම හා කුමාර් වෙල්ගම පමණයි. අනෙක් අය හිටියෙ ගෙවල්වල, නුගේගොඩ කඩවල, පදික වේදිකාවෙ සහ වෙනත් තැන්වල. සමහරු රටේවත් හිටියෙ නැහැ.

මහින්ද සුළඟවත් ඔය පොදුජන පෙරමුණවත් කාගෙවත් නිර්මාණ නොවෙයි. ඒවා ජනතාවගෙ නිර්මාණ. ජනතාවගෙ සාමූහික නිර්මාණ. ජනාධිපතිවරණයෙ දි ගෝඨාභය රජපක්‍ෂට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් වුණෙ ඔය කාගෙවත් හපන්කමකට නොවෙයි. ජනතාව තුල ජාතිකත්වය යම් ප්‍රමාණයකට හරි තහවුරු වෙලා තිබුණ නිසා. ජනාධිපතිවරණයට කලින් දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටෙවුවෙ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණ නිසා. ඒත් ඔය වීරයො ඒ පිහිටුවා ගත්ත ආණ්ඩුව රැක ගත්තෙ නැහැ.

අද ඒ වීරයන් නැවත බලවත් වෙලා. විමල් වීරවංශට පහර දෙන්න එන අය නුගේගොඩ රැස්වීමෙ දි හිටියෙ ගෙදර ද කඩේ ද පදික වේදිකාවෙ ද පිටරට ද? මේ විමල් වීරවංශට පහර දීමක් නොවෙයි. මෙහි එයට වඩා දුර දිග යන සැලැස්මක් තියෙනවා. මේ ආණ්ඩුව ජාතිකත්වයට පිටු පා නොගියත් ශක්තිමත් ව ජාතිකත්වය මත පිහිටල බලය තහවුරු කර ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය අද පේන්න තියෙනවා.

කොවිඩ් හා සම්බන්ධ ව භූමදානයට අවසර දීම හුදෙක් ජෙනීවාහි දී මුස්ලිම් රටවල සහාය බලාගෙන කළ එකක් පමණක් නොවෙයි. ඔය ජෙනීවා හුචක්කුව ගැන එතරම් කරදර වෙන්න දෙයක් නැහැ. බටහිරයන්ගෙ බොරු මානව අයිතිවාසිකම් කතා අප ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඊශ්‍රායලය ඔය ෆැසිස්ට්වාදීන් සමගත් විවාහ වෙලා හිටිය මානව අයිතිවාසිකම් නෝනල ව සතපහකට ගණන් ගන්නෙ නැහැ. අපි අපේ උත්තරය තදින් ප්‍රකාශ කරන්න ඕන. එපමණයි.
මේ භූමදානය පිටුපස තවත් කතා තියෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඕන. ඒ සඳහා මුස්ලිම් මන්ත්‍රී ඡන්ද අත්‍යවශ්‍යයයි. විස්ස සම්මත කර ගත්තෙත් එහෙමයි. හකීම් බද්‍යුද්දීන් විරුද්ධ වෙද්දි ඒ පක්‍ෂවල අනෙක් මන්ත්‍රීවරු විස්සට ඡන්දෙ දුන්න. ඒක උප්පරවැට්ටියක්. ඒ ඡන්දෙ දුන් මන්ත්‍රීවරුන් පක්‍ෂවලින් අස් කෙරුණෙ නැහැ. ඉදිරියටත් ඒක එහෙම වේවි. ඒ සඳහා මුස්ලිම්වරුන්ට භූමදාන කප්පමට වඩා විශාල කප්පමක් දෙන්න වේවි.

අප මේ ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරන්න ඕන. ඒ ඒ ජාතික සංවිධාන තමන්ට හැකි අයුරින් තනිව හරි සාමූහිකව හරි මේ උත්සාහයට විරුද්ධ ව පෙළ ගැහෙන්න ඕන. ජනතාවට මෙය නොතේරෙනවා වෙන්න බැහැ. ඒත් අප ඔවුන්ට පණිවුඩය රැගෙන යන්න ඕන.

මහාචාර්ය නලින් ද සිල්වා

Facebook Comments