free hit counter

විජය ධජ බිම හෙවුනු කලු පෙබරවාරි 16 දා..

80 දශකයේදී මා සේවයකලේ මහජන පුස්තකාලයකය. එහි කියවන්නට බොහෝ දේ තිබුනේ විය. ලංකාවේ ප්‍රකාශයට පත්වන සෑම පුවත්පතක්ම අප පුස්තකාලයට මිලදී ගත්තෙමු. ඉතින් කුඩා කල සිටම පුවත්පත් කෑදරියක වුනු මට මේ ලැබී තිබුනේම වාසනාවන්ත රැකියාවකි.

මේ කියන යුගයේ මහා පුවත්පත් රාශියක් පිටවී තිබිනි. කාන්තා , සිනමා ,ජ්‍යෝතිශ මෙන්ම ළමා හා අධ්‍යාපන පුවත්පත් ද ඒ සමානමය..

ඉතින් ඒ සෑම විෂයකින්ම මම එදා පැවැති රට තොට වටා පිටාව පමණක් නොවේ ලෝකය ද මගේ අත්ලට ගෙන සිටියෙමි.

විජය කුමාරණතුංග එවකට තරුණ අප කාගේත් හිත්ගත් නලුවාව සිටියේය. එහෙත් මම පසු කලෙක සිනමා කර්මාන්තයෙහි වූ දායකත්වය ගැන ලොකූ කැමැත්තක් තිබුනේ නැතිවා වුවද විජය කුමාරණතුංග නම් සුන්දර හාදයාට 1975 තරමේ සිට කැමැත්තෙන් හිටි බව නොකීවොත් ඒ මුසාවකි.

එවකට රිදී තිරය තමන් සතු කරගත් දැවැන්ත පුරුෂයන් කිහිප දෙනෙක්ම මුලු රටෙහිම සිනමා ලෝලීන් නතු කරගෙන සිටියේය.. ඒ විවිධ කෝණ වලිනි ගාමිණි පොන්සේකා එඩිතර හා ගෞරවණීය චරිතය, ඇලෙක්සැන්ඩර් හා රොබින් සටන් කරුවන් ලෙස විජය කුමාරණතුංග සුන්දර පෙම්වතා ලෙසට වශයෙනි. මෙහි ලියා තබන්නට තවත් නම් කීපයක්ම තුබුනු බව ද සඳහන් කල යුතුය.

ඕ..ඕ.. තුෂාරා යැයි ගයමින්ද,ඉර හඳ වැඳලා.. ද, විටෙක මාලනී ටද විටෙක සබීතා ටද ශ්‍රියානී ට ද වශයෙන් තිරයේ නොනැසෙන පෙම්වතා චරිතය රඟ පෑ විජය කුමාරණතුංග තිරයේ නොව සැබෑ දිවියේදි නොඅනුමානවම මාලනී ෆොන්සේකා විවාහ කරගනීයැයි ගැටවර අප බලාපොරොත්තුව සිටියෙමු.

අද මෙන් රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් කලා ලොව ඕපාදූප ඉතා පහසුවෙන් දැනගත හැකි වුවද එකල් ඉතින් අපට ඔවුන්ගේ ප්‍රේම කතා අසන්නට ලැබුනේ විසිතුර, කලා හෝසරසවිය පුවත් පතිනි.. පසුව තවත් සිනමා පුවත්පත් ඔප කඩදසියේ මුද්‍රිතව අප දෝතට පත්වුනේ සරසවිය පුවත් පත මෙන් නොව ඕපාදූප වැඩිපුර තවරමින් ය.
දැන් මේ මා කියන්නේ 1977 න් පසු අවදියයි.. විජය මාලනී විවාහ කරගනිතැයි බලා හිටි තරුණ අප හදිසියේම වල්මත් වූයේ විජයකුමාරණතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය විවාපත් පුවත සවන් වැකීමෙනි.

එය රට කලඹන පුවතක් විය. සිරිමාවෝ බණ්ඩාරනායක යනු ලොව ප්‍රථම අගමැතිනිය වීමම පම ණක් ම නොව රදළ පරම්පරාවකට අයත් ලොව ඉහලම රටවල් ප්‍රමාණයක ශ්‍රී ලංකා නම ඉහලින් ලකුණු කරන්නට සමත් ප්‍රභූ පරම්පරාවක කීර්තිමත් ම කාන්තා රන් සලකුණ ක් ව එතුමිය සිටි යුගයයි මේ.

ඉතින් සිනමා පුවත්පත් වල පිටු ගනනින් විජය චන්ද්‍රිකා ගේ රූ වලින් සැරසී ගියේය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව කීවොත් චන්ද්‍රිකා මෙනවිය රැගෙන තිබුනේ අති නිර්භීත පියවරකි.

ඇතැම්.පුවත්පත් එය වාර්තා කර තිබුනේද සිරිමාවෝ මැතිනියගේ බාල දියණිය පරපුරේ ගෞරවය කෙලෙසා බාල වානිජ චිත්‍රපට වල රඟපාන බොහෝ සාමාන්‍ය පවුලක රූපය පමණක් වත්කම ලෙසඇති තරුණයෙකු හා විවාහ වූයේයැයි සඳහන් කරමිනි.

ඒ 1978 පෙබරවාරි 20 දිනය. ඒ ව්න විට18 හැවිරිදි මට අනුව නම් චන්ද්‍රිකා නම් වූ ඒ ජනප්‍රිය හා ජාත්‍යන්තර ප්‍රසිද්ධ රදළ පරම්පරාවක කණිටු දියණිය කෙරෙහි ඇති වූයේ අමනාපයකි. ඉදින් ගැටවර අප මනසේ ඇඳී තිබුනේ හාල් පොලු , පාන් පෝලිම් හා ජම්පිං පීස් නම් භූමිතෙල් චීත්තරෙදි ආදි දුෂ්කරතා වන් ට අප ලක්වන්නට හේතූ වූ නපුරු රාජ්‍ය නායිකාවක ගේ දියණියක් විජය වැනි සුකොමළ චරිතයකට ගැලපෙන්නේම නැතැයි කියන චිත්‍රයයි.( එදා ගැටවර අපි එසේ සිතුවද වැඩිහිටි වූ කල නම් සිරිමාවෝ මැතිනිය ගත් දේශීය දේ නඟා සිටුවීමේ සටන රටට යහපතක් ගෙන දෙන්නක් බව වටහා ගෙන සිටියෙමු )

මුහුනු පොතේ ජනප්‍රිය අපේ මහගෙදර ඉදිරිපිට වූ අඹගස මුල සංගමයේ ඇතැම් කතා බහ අනුව චන්ද්‍රිකා රැගෙන තිබුනේ නිර්ධන පංතිය හා එක්වීමට යෝධ පියවරකි. තව අයෙකුගේ මතය වූයේ විජය සිරිමාවෝ මැතිනියගේ දියණිය විවාහ කරගැනීමෙන් කර තිබෙන්නේ උපක්‍රමශීලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩියේ මිට තම අතට ගැනීමට බවයි.
මට ඒ කතා වලින් සැනසීමට නොහැක. ඉතින් පුවත්පත් පීරා පීරා විජය චන්ද්‍රිකා පෙම්පුවත සෙවීමි.
බොහෝ සම්මුඛ සාකච්ඡා වලට අනුව ඔවුන් දෙදෙනා ගේ හදවත් අතුරින් වැඩිපුර ප්‍රේමය පිලිසිඳ තිබුනේ එවකට යුගයේ පෙරලිකාරි පෙම්වතිය වූ චන්ද්‍රිකා මහත්මියගේ හදවතෙහිය.

පොඩි මිනිසුන් හා ගැටී ගැටී උන්ගේ දුක වෙනුවෙන් වෙහෙසුනු වෙහෙසෙන විජයගේ මානව හිතවාදී ගුණ මේ සුපිරි පන්තියේ රදළ දියණියගේ සිත සෙලව්වේයැයිද ඉදින් විජය හා අතිනත ගැනීම මනුසත් ගුණ සපිරි තරුණයෙකුගේ භාර්‍යාව වීමට ලැබීම ම පමණක් නොවේ.. ඉදින් රටේ නව දේශපාලන යුගයක් ඇරඹීමට මේ විවා බැම්ම සුදුසුම හයියක් වනු ඇති බව තමා විශ්වාස කරන්නේයැයි එතුමිය පුවත්පත් වලට කල ප්‍රකාශ වල සඳහන් විනි.
ඉදින් රටේ ඔවුන් පැතූ නව දේශපාලන යුගයක් ඇරඹීමේ ලා සටනේ පොලොන්නරුවද සන්ධිස්තානයක් විය.
මින්නේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් ද සිල්වා මහතාගේ අභාවයෙන් අනතුරුව එම අසුනට නවමන්ත්‍රී වරයෙකු පත්කර ගැනීම උදෙසා මින්නේරිය ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වූයේ 1984 ඔක්තෝම්බර් 25 වන දිනය. ඒ ලංකාවේ පැවැති අතුරු මැතිවරණ අතුරින් අති විශේෂම මැතිවරණයක් විය.මැතිවරණයට ඉදිරිපත් වුනු අපේක්ෂකයින් ගනන 51 කි. ඒ අතුරු මැතිවරණ යක් උදෙසා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් සිටි මැතිවරණයයි.විජය කුමාරනතුංග ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට් ඉදිරිපත් විය.එහිදී ඔහු දෙවන ස්ථානය ලබා ගනිමින් ඡුන්ද 10,568ක් ලබා ගත්තේය. ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප‍්‍රිය සේනානායකට හිමිවූයේ ඡුන්ද 6,250 ක් පමණි. ජයග‍්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත් වූ එස්. බී විජේකෝන්ට ඡුන්ද 19,744ක්

මැතිවරණයට පෙරාතුව මින්නේරිය ආසනයේ අස්සක් මුල්ලක් නෑරම විජය කුමාරණතුංග ඇවිද ගිය බව මට මතකය. ඒ හා සමඟම චන්ද්‍රිකා මහත්මියද සාමාන්‍ය සරළ කාන්තාවක සේ මේ ගොවිබිම් වල සාමාන්‍ය ගොවියන් සුහදව කතා බස් කලේ පසු කලෙක ලොව පලමු ජනාධිපතිනිය වූ දා පුවත්පත් කවර සැරසූ ඇගේ මන මෝහණීය සිනහව ම රඳවාගෙනමය.

මින්නේරිය නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම පාමුල අඹගස යට පැවැති විජය ගේ ජන හමුවක්ද ගිරිතලේ යාය එක ප්‍රදේශයේ ගොවි ජනතාව හා විජය එකමුතුව තිබූ කුඩා රැස්වීම් ගණනාවක් ගැනද මට මතකය ..
ඒ මා විජය චන්ද්‍රිකා යුවළ සමීපව දුටු මුල්ම අවස්ථාවයි.

එහෙත් සුපුරුදු පරිදි අඹගහ යට සංගමයේ පුවත් ඇසුරෙන් ඒ ඡන්ද මගඩියක් බවත් මින්නේරිය අතුරු මැතිවරණයෙන් ජය ලබා සිටියේ විජය බවත් අසන්නට ලැබිනි.ඒවා ඕපාදූප ගණයට දැම්මත් පසු කලෙක ගම්පහ වැනි ජන ගහණය අධික පෙදෙසකින් වැඩිම ඡන්ද ලබා පබා නම් එකම ටෙලි නාට්‍ය ක රඟ පා ජනප්‍රිය වූ නිලිය පාර්ලිමේන්තු ගියේ නම් වසර විසි ගනනක තම සිනමා දිවියේ ලංකාවේ ජනප්‍රියම නලුවා සහ සම්මානය පිට පිට දහ දොලොස් වරක් දිනූ විජය මින්නේරිය වැනි කුඩා ගහණයක මැතිවරණයකින්.පරාජය වූයේ කෙසේදැයි සැකයට කරුණක් තමා..

ඉදින් පසු කලෙක මේ සියල්ල සාමාන්‍ය කරණය වූ අතර විජය චන්ද්‍රිකා යුවළ 1986 දී වඩමරච්චිය ප්‍රදේශයේ එල්ටීටීඊ කඳවුරකට ගියේ එල්ටීටීඊ අත් අඩංගුවෙ සිටි යුධ හමුදා සාමාජිකයින් සිවු දෙනෙකු බේරාගැනීම සඳහා එල්ටීටීඊ නායකත්වය හා සාකච්ඡාවකටය.

එම ගමනේදි උතුරේ ජනතාවගෙන් විජය ට ලැබුනේ උනුසුම් පිලිගැනීමකි. ඔව් සැබැවින්ම තවත් සුලු කලක් ජීවත්ව සිටියේනම් විජය වටා එකතුවන සිංහල බස කතා නොකර න ජනතාවගේ පෙල ගැස්ම නතර කරන්නට බල සම්පන්න දේශපාලන පක්ෂ වලටත් නොහැකි වන්නට තිබුනි.

මේ කාලය තුල අද වාගේම ඇතැම් මාධ්‍ය වල විවිධ පුවත් වාර්තා මැවෙමින් තිබුනි. ඉන් කියැවෙමින් තිබුනේ මේ අඹුසැමි යුවළ අතර මහ ලොකු ඇයි හොඳයියක් නැතැයිද විජයලා හැදු ශ්‍රී ලංකා මහජන පක්ෂය බිඳෙමින් පැවතෙයිද ආදී වශයෙන් පුවත් ඉගිලිනි.

මාධ්‍ය වාර්තා පාතාලයක් ගැන එකල දැන නොසිටි බහුතරයක් ඒවායෙහි සත්‍යතාවයක් ඇතැයි සැක කලෝය.
මේ ගෙවෙමින් තිබුනේ මහා බිහිසුනු යුගයකි. මිනිස් ජීවිත තුට්ටු දෙකට ත් නොව ඊටත් අන්ත පහතට වැටී තිබුනි. නිල ලත් අයවලුන්ගේද නිල නොලත් අයවලුන්ගේද ගිනි අවි වලින් දිනපතා කොතැන හෝ එක් අයෙකුට හෝ පිරිසක් හෝ මියගිය බව අසන්නට ලැබිනි.

අද අපේ ඇතැම් අය අපි අසවල් ආගමේය අසවල් ජාතියේ ය ඒ නිසා මහජාතියේය කියා කීවත් වැඩිමනත් මරා ගත්තේ මේ කියන මහජාතියේම උදවිය තම තමන්ගේ අයමය..

මෙරට ඉතිහාසය ලියැවෙද්දී 1987 – 1988 වකවානුව ලියැවෙන්නේ රුධිරයෙනි..

මේ භීෂණ යුගයේදී 1988 පෙබරවාරි 11 දින කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ඝාතනයටලක් විය. එම අවමඟුල් උත්සවයට විජය සහභාගි වූ අතර ඔහු එම ඝාතනයන් කල බව කියන දේශපාලන පක්ෂයට සම්බන්ධ සියලු දෙනාවම තරයේම හෙළා දකිමින් කතා කලේය.

මේ අතරතුර ශ්‍රී ලංකා මහජන පක්ෂය තවත් සංවිධන හා එකමුතුව එවකට ප්‍රචන්ඩ ලෙස ආයුධ අතට ගත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙනී සිටියේය..

අදින් වසර 33 ඉහත අද වැනි දිනෙක දහවල් මා සිටියේ මගේ දරුවන්ට දිවා ආහාරය බෙදමින් ය. එදින මා නිවසේ සිටියේ ඒ නිවාඩු දිනයක් විය යුතුය. මගේ සැමියා බැහැරක ගොස් සිටියේය.

සාලයේ වූ ගුවන් විදුලියෙන් දහවල් 12.45 ප්‍රවෘත්ති විකාශය සඳහා තේමා වාදනය වැයෙද්දි දරුවන් ට බෙදූ ආහාර පිඟන් යුගල ඔවුන්ගේ කුඩා මේසය මත තබා දරුවන්ට අඬගසන අතරේම මම ගුවන් විදුලි යන්ත්‍රය වැඩිකලේ ඒ යුගයේ ප්‍රවෘත්ති ඉතාම වැදගත් වූ නිසයි.

ප්‍රවෘත්ති ප්‍රකාශකයා ගේ මුවින් විජයකුමාරණතුංග මරා දමා ඇතැයි කියන පුවත සැබැවින්ම මා කම්පනයට පත් කලාය.

” අයියෝ…” යි කෑගැසූ මට ඒ බව කියා ඒ මොහොතේ දැනුනු බිය ශෝකය කම්පනය බෙදා හදා ගැනීමට කිසිවෙකුත් නිවසේ සිටියේ නැත. දරුවන් දෙදෙනා ආහාර නොගෙන මගේ විලාශය දෙස බලා සිටී. අනතුරුව මම අසල්වැසි මගේ වයසේ හිතවතියකට කෑගැසුවෙමි. ඈ නම් විජය ගේ චිත්‍රපට නරඹන්නට පිස්සු වැටී සිටින්නියකි. මා විජය මල පුවත කී කල්හි ඈ කෑගසා වැලපුනාය.

මුලු රටම එලෙසින්ම කම්පනයට පත්වූ බව නොරහසකි. ඒ කලු පෙබරවාරි 16 දා දහවල් 12 වයස අවුරුදු 42 ක් අඩි 5 කුත් අඟල් 11 උසැති සිංහල සිනමාවේ ආකර්ශණීයම පෙම්වතා චරිතය රඟ පෑ විජය කුමාරණතුංග මහතා ඔහුට අයත් නිවස ඉදිරිපිට ඔහුගේ කුඩා දියණිය ගේ දෙනෙත් අභියස මරා දැමුනි.

වෙඩි හඬින් කලබලව නිවසින් පිටතට දිව ආ චන්ද්‍රිකා මැතිනිය ගේ ඇස් ඉදිරිපිට ම ඝාතකයා බිම වැටුනු ඇගේ දයාබර ස්වාමි පුරුෂයා ගේ හිසට වෙඩි තබමින් සිටියේය.

විජය හමුවන්නට පැමින සිටි ඔහුගේ හිතවතෙකු වන සරත් උපාලි ටද වෙඩි වැදී තිබිනි. රෝහල් ගත කල උපාලි 1988 අප්‍රේල් 25 දින කොලඹ ජාතික රෝහලේදී මියගියේය.

1988 පෙබරවාරි 21 පැවැති විජයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරුනු නිදහස් චතුරස්‍ර භූමිය දස දහස් ගනන් ජනතාවගෙන් පිරී ඉතිරිනි.

මේ වියොව දරා ගත නොහැකිව විජයගේ රසිකයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගත් බවත්, විජයගේ ඡායාරූප ශිල්පියෙකු මේ වියෝගය නිසාම අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා මරනයට පත් වූ වගකුත් එකල මාධ්‍යවල සඳහන් විය.

මේ බිහිසුනු වාතාවරනය මැද චන්ද්‍රිකා මැතිනිය දරුවන්ද කැටුව විදෙස් ගතවිය. එහෙත් අනුගාමිකයින් ගේ ත් පාක්ෂිකයින්ගේත් පෙරැත්තයමැද යලි මෙරට ආ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය දේශපාලන වේදිකාවට පා තැබීය.

බස්නාහිර පලාත් සභා මහ ඇමතිනියගෙන් ආරම්භ වූ ඒ දේශපාලන ගමන් මඟ කෙලවර එතුමිය ලොව පලමු විධායක ජනාධිපතිනියව කලාය.

පසුව මෙරට ගිනි ගෙන දැවුනේ බොහෝ කලකට පෙර එතුමිය තම සැමියා හා ඔල්වරසන් ජයගෝෂා මැද ඇවිද ගිය උතුරේ සටන් බිම ඔවුන් හා සාම සාකච්ඡා වලට එකඟ වූ එල්ටීටීඊ සංවිධානයත් ශ්‍රී ලංකා රජයේ හමුදා අතර ඇතිවූ සටන් වලිනි.

එහි කෙලවර වූයේ එල්ටීටීඊ සංවිධානයේ ඝාතන ලැයිස්තුවට චන්ද්‍රිකා මැතිනියගේ නාමය ද එක්වීමෙනි.
1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති මහජන රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානය චන්ද්‍රිකා මැතිනිය ඝාතනය කිරීමට ගත් උත්සාහය දශමයෙන් වැලකිනි. එහෙත් එම ප්‍රහාරයෙන් එතුමියගේ දකුණු ඇස නොපෙනී ගියාය.
2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස්සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේසිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.
2002 පෙබරවාරි මස රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය එල්ටීටීඊ ය සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. එල්ටිටීඊ සංවිධානයට ඕනෑවට වඩා නිදහස ලබාදීඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය.

2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය.

එහෙත් 2005 නොවැම්බර් මස පැවති ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනපති විය.

එතැන් සිට දේශපාලන වේදිකාවෙන් විශ්‍රාම ගත් චන්ද්‍රිකා මැතිනිය විවිධ සමාජසේවා වැඩකටයුතු ඔස්සේ සහ මුහුණු පොත ඔස්සේ දැන් දැන් යලිත් ප්‍රේක්ශක ජනාදරය දිනාගනිමින් පුවත් මවමින් සිටින්නීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියට නිදුක් නිරෝගි සුව සමඟ දීඝායුවේවායි පතන අතර
අද වන් දිනෙක මියගිය සුන්දර මානව හිතවාදී විජය කුමාරණතුංග මහතාට උත්තම නිර්වානයෙන් සැනසීම ලැබේවායි පතමි.

ඉන්දුමතී ජයසේන

Facebook Comments