free hit counter

ඉන්දියාවට එරෙහි අඩුකුළේ දෙමළ දේශපාලන බලයක් හදන සිංහල බිල්ලා

ඉන්දියාවේ අගමැති මෝදි පහුගිය දහහතරවැනි දා චෙන්නායි ගිහින් ලංකාවෙ තම සහෝදර දෙමළ ජනතාව ගැන කතා කරල. ඒ ගැන පහළොස්වැනි දා හින්දු පත්තරේ සටහනක් තිබුණ. ඒකෙ පරිවර්තනයක් කියල හිතන්න පුළුවන් නිවේදනයක් ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරල තිබුණ. ඒ ප්‍රකාශය මෙහෙමයි.
‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යය ක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවාග ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.”

“යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.”

මේ වාර්තා වී ඇති කොටස. තව මොනව කිව්ව ද කියල අපි දන්නෙ නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් ප්‍රකාශ කර ඇති දෙයෙහි වරදක් නැහැ කියල. ඒත් මොකක් ද මේ සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනව කියන්නෙ. ඔය අභිලාෂ කතාව ටික කලකට ඉස්සර කුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවෙ නිතර කිව්ව දෙයක්. මෙරට දෙමළ ප්‍රජාවගේ අභිලාෂය හැටියට පොන්නම්බලම් කිව්වෙ යම් ආකාරයක ඊනියා ස්වයං පාලනයක්. ඉන්දියාව සංවර්ධනය තුළින් හරි වෙන විධියකට හරි දෙමළ ප්‍රජාවගේ අභිලාෂය ඉටු කරන්න යන්නෙ අහවල් දේකට ද? කාගෙ සංවර්ධනයටත් මෙරට ආණ්ඩුව හරහා දායක වුණා නම් මදි ද?

මෝදිගෙ චෙන්නායි ප්‍රකාශය හුදු දේශපාලනඥයකුගෙ දේශපාලන කතාවක් ලෙස සලකල අමතක කරන්න බැහැ. මෙරට දෙමළ ජනතාව ගැන ඒ වගේ ප්‍රකාශ තමිල්නාඩුවෙ අගනුවර දි ප්‍රකාශ කරන්නෙ නිකම් ම නො වෙයි. ඉන්දියාවෙ නායකයන් තමයි මෙරට දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යන ප්‍රධාන කොටසක්. අනෙක් කොටස එංගලන්තෙ දේශපාලන නායකයන්. එංගලන්තය ටික කලක් අප යටත් කරගෙන හිටියා. ඉන්දියාවෙ චෝළයන් අපේ රටෙන් කොටසක් ඒත් ටික කාලෙකට යටත් කරන් හිටිය.

ඒ වුණත් සොළින්ගෙ දවසෙ ඉඳන් මෙරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාවක් නැහැ. යාපනය විශ්වවිද්‍යාලයෙ පළමු ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල කොටින්ට අවශ්‍ය විධියට පොතපත ලියන්න ඉස්සර පළ කරපු තම ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනයෙ ඉතා පැහැදිලි ව සඳහන් කරනවා දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූණ බව.

ආර්යචක්‍රවර්ති යුගයෙවත් මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන ඇති වුණෙ නැහැ. ස්ථිර වාසස්ථාන ඇති කරන්න උත්සාහ ගත්තෙ ලන්දේසි කාලෙ. අලි සබ්‍රි ඊනියා උඩරට නීතිය නමින් හඳුන්වන සිංහල නීතිය හා තේසවලාමේ නීතිය පෞද්ගලික නීති ලෙස හැඳින්වුවත් ඒ දෙකේ වෙනසක් තියෙනවා. අලි සබ්‍රි පෞද්ගලික නීති ලෙස හඳුන්වන්නෙ යම් ජනකොටසකට පමණක් සීමා වූ නීති. ඒ කුමක් වුවත් ඊනියා උඩරට නීතිය කියන්නෙ උඩරටට සීමා වූ නීතියක් නො වෙයි. උඩරට කියා එකක් ඇති කෙළෙ ම ඉංගිරිසින්. ඔවුන් රටේ ම නීතිය වූ සිංහල නීතිය උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුවා. කාලය සඟරාවෙ මෙවර (පෙබරවාරි) කලාපයෙ ලිපියකින් විවෘත විශ්වවිද්‍යාලයෙ නීති අධ්‍යනංශ ප්‍රධාන රාජා ගුණරත්න ඒ ගැන වැඩි විස්තර සපයනවා.

තේසවලාමෙ නීතිය එහෙම එකක් නො වෙයි. ලන්දේසින් තම දුම්කොළ වගාව සඳහා දෙමළ වෙල්ලාලයන් ගෙනාවට පස්සෙ ඔවුන් (වෙල්ලාලයන්) අස්වැන්න නෙළා ගෙන ආපහු තම නිජභූමිය වූ ඉන්දියාවට ගියා. එසේ යෑම නැවැත්වීමටයි ලන්දේසින් තේසවලාමෙ නීතිය වෙල්ලාලයන්ට පැනෙව්වෙ. එය 1707 දි සංගෘහිත නීතියක්. තේසවලාමෙ කියන්නෙ ඉන්දියාවෙ මුස්ලිම් නීතියක් බව සබ්‍රි දන්නෙ නැතිව ඇති. මේ කාරණෙන් ම වුණත් පේනවා දහහත්වැනි සියවසේදීත් දෙමළ වෙල්ලාලයන්ගෙ ස්ථිර පදිංචියක් මෙරට නොතිබූ බව. කොහොමටත් ලන්දේසින්ගෙ උත්සාහය සාර්ථක වුණෙ නැහැ. වෙල්ලාලයන් ආපසු තම නිජ භූමියට ගියා. සබ්‍රිට මේ ගැන වැටහීමක් නැහැ. ඔහුට පනතක් හා නීති ප්‍රභේදයක් අතර වෙනස තේරෙන්නෙත් නැහැ. විහාර දේවාලගම් පනතත් ඔහු තේසවලාමෙ නීතිය වගේ යැයි කියනවා.
පසු කාලෙක 1806 දි ඉංගිරිසින් තමයි තේසවලාමෙ දෙවැනි වරටත් පැනෙව්වෙ. ඒ කියන්නෙ මේ නීතිය ක්‍රියාත්මක වුණෙ දහනවවැනි සියවසේ මුල කියන එක. ඉන් පැහැදිලි වෙන කරුණ තමයි දහනවවැනි සියවස වෙන තෙක් ලංකාවෙ දෙමළ වෙල්ලාල ස්ථිර වාසස්ථාන නොතිබූ බව. මෙරට දෙමළ වෙල්ලාල ජනයාගෙ නිජභූමිය තමිල්නාඩුව. අප කියන්නෙ නැහැ එය හැමදාමත් එසේ ම විය යුතු බව. ඒත් මෝදිල හා මෙරට වෙල්ලාල නායකයනුත් තමිල්නාඩු නායකයනුත් වැඩ කරන්නෙ එහෙම හිතා ගෙන. එසේ නැත්නම් මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන ප්‍රකාශ, ඔවුන්ගෙ අභිලාෂ ගැන ප්‍රකාශ, චෙන්නායිහි කරන්න තියෙන වුවමනාව මොකක් ද?

මෝදි හරි වෙන ඉන්දීය නායකයකු හරි බෙංගාලයට (වංගය) හරි ඔරිස්සාවට (කාලිංගය) හරි ගිහින් සිංහලයන් ගැන එවැනි ප්‍රකාශයක් කරනවා ද? සිංහබාහුල විජයල ඒ පැත්තෙ අය නොවැ. අඩු ගානෙ සිංහලයන්ට සිංහබාහු කෙනකු ගැන කියන්න පුළුවන්. මෙරට දෙමළ ජනයාට කොටිබාහු කෙනෙක් ඉන්නවා ද? ඒකෙනුත් කියන්නෙ දෙමළ ජනයා මෙරටට තම නායකයකු යටතෙ පැමිණ නැති බවයි. ප්‍රභාකරන්ල චෝළයන්ගෙ කොටි ලකුණ ගත්තෙ ව්‍යාජ ඉතිහාසයක් මවන්න විතරයි. මෙරටට ලන්දේසීන් ආනයනය කළ වෙල්ලාලයන් ඉංගිරිසින් යටතෙ ස්ථිර වාසස්ථාන හදා ගෙන යාපන අර්ධද්වීපයෙ ජීවත් වෙන්න පටන් ගත්ත. පසුව ආනයනය කෙරුණු කොටසක් නැගෙනහිර පළාතෙත් තවත් කොටසක් කඳුකරයෙත් පදිංචි කෙරුණ.

යාපනයට ආනයනය කෙරුණු වෙල්ලාලයන් එහි සිටි බහුතරයක් වූ සිංහලයන් තම සංස්කෘතියට අවශෝෂණය කර ගත්තා. ඒ සිංහලයන් දෙමළ සමාජයෙ ඊනියා අඩු කුල බවට පත් කෙරුණ. සිංහල රජවරුන්ට සේවය සඳහා පැමිණි වේලක්කාරයන් ද ඊනියා අඩු කුල බවට පත් කෙරුණ. යාපන වෙල්ලාලයන් ඉංගිරිසි ආණ්ඩුව යටතෙ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා රැකියා සඳහා කොළඹ පැමිණියා. එහෙත් ඔවුන් වෙනත් හේතුවකට අර්ධද්වීපයෙන් දකුණට ඒමට හිතුවෙ නැහැ. පනස් ගණන්වල ඉරණමඩු අවට ඉඩම් බෙදා දීමේ දී දෙමළ ජනයා ඒ ඉඩම් ලබා ගැනීමටවත් ඉල්ලුම් කෙළෙ නැහැ. ඔවුන්ට තිබුණෙ යාපනයටත් ඉන් උතුරට වූ තමිල්නාඩුවටත් සම්බන්ධ වූ ජීවිතයක්.

මෙරට දෙමළ ප්‍රශ්නය වෙල්ලාල නායකයන් වවාගෙන කන එකක්. එය ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. පියසිරි අමරකෝන් පෙන්වා දී ඇති පරිදි දහනවවැනි සියවස මුල ගාල්ලට ගිය ක්‍රිස්තියානි පූජකවරුන් තමයි රට බෙදීමේ අදහස මුලින් ම ඇති කෙළෙ. එදා ඉඳන් ඉංගිරිසින් තම බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව දෙමළ වෙල්ලාලයන් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ ව මෙහෙයවනවා. දෙමළ වෙල්ලාලයන් සිංහල සමාජයට එකතු වීමට අකමැතියි. ඔවුන් රාමනාදන්ලාගේ කාලයේ සිට ම බැලුවේ ලංකාවේ ම නායකයන් වීමට. එහෙත් එය නොහැකි බව තේරුම් ගත් ක්‍රිස්තියානි චෙල්වනායගම් නාගනාදන් ඇතුළු පිරිස අර මුල් ඉංගිරිසි ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය අනුව යමින් රට බෙදීමට කටයුතු කළා. රාමනාදන්ලා ද ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය.

වෙල්ලාලයන් දෙමළ සමාජයේ තම ආධිපත්‍යය රැක ගැනීමට සිංහල බෞද්ධ ආණ්ඩු බිල්ලකු මවනවා. ඒ අතර ඔවුන් කොළඹ ජීවත් වෙනවා. වෙල්ලාලයන්ගෙන් දෙමළ සමාජයට වන යහපතක් නැහැ. ඔවුන් සිංහල බෞද්ධ බිල්ලා මවන්නේ යාපනයේ තම බලය රැක ගැනීමට පමණයි. ඔවුන් බලයේ සිටි කාලයේ උතුරේ පළාත් සභාව කර ඇති කාර්යය කුමක් ද? ඉන්දියාව 1947 සිට බලන්නේ ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමටයි. ඔවුන් දෙමළ ජාතිවාදය ඒ සඳහා යොදා ගන්නවා. දෙමළ වෙල්ලාලයන්ට තමිල්නාඩුව සමග ඇති ඥාතී්ත්වය තමිල්නාඩුවේ නායකයන් එහි බලය තමන් අත රඳවා ගැනීමට යොදා ගන්නවා. දිල්ලි නායකයන් ද තමිල්නාඩු දේශපාලනයෙහි දී එහි සිටින දෙමළ වැසියන් ලංකාවට විරුද්ධ ව යොදා ගන්නවා.

ඉන්දියාව දකුණු ආසියා කලාපය ගිල ගනිමින් ඉන්නවා. අද ඇසෑමය කියා රටක් නැහැ. භූතානය නමට තියෙනවා. ඉන්දියාව දැන් බලන්නේ ලංකාව හා නේපාලය දිහා. පසුගිය දා භාරතීය ජනතා පක්‍ෂයේ ස්වදේශ ඇමති අමිත් ෂා ලංකාවේ හා නේපාලයේ භාරතීය ජනතා පක්‍ෂ ඇති කිරීමට සැලසුම් කර ඇතැයි කියා තිබූ බවක් වාර්තා වුණා. එය ඇත්තක් ද දන්නේ නැහැ. එහෙත් එය නොවිය හැක්කක් නො වෙයි. මෙරට භාරතීය ජනතා පක්‍ෂයක් එනමින් ම ලියා පදිංචි කරන එකක් නැහැ. ඉන්දීය කෞටිල්‍යයන් එතරම් මෝඩ වැඩ කරන්නේ නැහැ. අප සෙවිල්ලෙන් ඉන්න ඕන.
තමිල්නාඩුව හා වෙල්ලාලයන් අතර ඇති පෙකෙණිවැල කඩන්න ඕන. මෙරට වෙල්ලාලයන් ඕන එකකට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට දුවනවා. ඉන්දියාවේ විදේශ ඇමති හා නිලධාරීන් මෙරටට දුව ගෙන එනවා. අප මෝදිගෙන් ඉල්ලුවා කියා ඒ කිසිවක් නතර වන්නේ නැහැ. වෙල්ලාලයන්ට හා ඉන්දියාවට බලය ඇත්තේ මෙරට දෙමළ ජනයා සිංහලයන්ගෙන් වෙන් වී ඉන්නකම් පමණයි. වෙල්ලාලයන් ද ඉන්දියාව ද කටයුතු කරන්නේ ඒ වෙන් කිරීම දිගට ම පවත්වාගෙන යෑමටයි. අපට එය නැවැත්විය හැකියි. අප දෙමළ ජනයා අතර සෘජු දේශපාලනයක නිරත විය යුතුයි. අද නැගෙනහිර පළාත හා කඳුකරය වෙල්ලාලයන්ගෙන් කැඩිලා. උතුරත් වෙල්ලාලයන්ගෙන් කඩන්න ඕන. අප ඊනියා අඩු කුල දෙමළ ජනතාව අතර සෘජු දේශපාලනය අරඹන්න ඕන. ඔවුන්ගේ ආර්ථික සංස්කෘතික කටයුතු සඳහා මැදිහත් වෙන්න ඕන. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය කවුරු විවෘත කළත් එය ඉන්දියාවෙන් මුදා ගන්න ඕන.

මහාචාර්ය නලීන් ද සිල්වා

Facebook Comments