free hit counter

ජී. එල්. සිය දිවි නසා ගැනීම

පහුගිය දා ගාමිණී ලක්‍ෂමන් පීරිස් හෙවත් ජී එල් පීරිස් හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියා තිබුණා දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය විභාග මූලික හරි විභාග කේන්ද්‍රීය හරි බවත් ඉන් කටපාඩම් කරන සිසුන් පිරිසක් බිහිවන බවත්. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලත් ඔහු කියා තිබුණා. මෙය හොඳ කතාවක් වුණත් අප පළමුවරට අහන කතාවක් නො වෙයි. මට මතක හැටියට පහුගිය අවුරුදු පනහ හැටක කාලයක සමහර විට ඊටත් වඩා කාලයක අප මේ කතාව අහල ඇති. ඒත් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැහැ.

ජී එල් පීරිස් අමතක කරන කාරණය තමයි මේ අධ්‍යාපන ක්‍රමය නොවන්නට ඔහුට ඊනියා උගතකු ලෙස රටේ තැනක් නොලැබෙන බව. ඔහුගේ පරම්පරාවේ හා විවාහයේ ආනුභාවයෙන් ඔහුට ධනවතකු ලෙස වැදගතකු ලෙස රටේ තැනක් ලැබේවි. එහෙත් ඔහුට ඊනියා උගතකු ලෙස රටේ තැනක් ලැබෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය නිසයි. ඔහු මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වූවෙක්. මේ අධ්‍යාපන ක්‍රමය නැති කිරීමෙන් ඔහු වැන්නන් බිහි කිරීම වළක්වන්න පුළුවන්. එය කෙරේවි යැයි හිතන්න බැහැ. ජී එල් සිය දිවි නසා ගන්න එකක් නැහැ. අඩු තරමෙන් සිය ක්‍රමය නසන එකක් නැහැ.
ඔහු පමණක් නොව විභාග සමත් වීම නිසා සමාජයේ වැදගතුන් ලෙස තැනක් ලැබී ඇති බටහිර වෙද මහතුන්, ඉංජිනේරුවන්, පරිපාලන නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුනුත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වූවන්. මේ අධ්‍යාපන ක්‍රමයේ මූලික කටයුතු නම් කරුණු දත්ත එක් රැස් කිරීම, ඒ එක් රැස කරගත් දේ විභාගවල දී වැමෑරීම, ඉදිරිපත් කිරීම හා එතරම් වැදගත් කමක් නැති පරිධියේ ප්‍රශ්නයක් විසඳීම ආදියයි. මේ ටික ඒ ඒ ප්‍රමාණයට කිරීමට හැකි අය සමාජයේ ඒ ඒ ප්‍රමාණයට උගතුන් ලෙස සැලකෙනවා. සමහරව විට ඊනියා ප්‍රාමාණික උගතුන් ලෙසත් සැලකෙනවා. මේ අයගෙන් නිර්මාණයක් කෙරෙන්නේ නැහැ. දැනුමට වැදගත් දෙයක් එකතු වන්නේ නැහැ. ඔවුන් අනුකරණය හැරෙන්න වෙනත් යමක් දන්නේ නැහැ.

සමාජයේ වැදගත්කම යන්නත් සමාජය විසින් ම සංස්කරණය කෙරුණු දෙයක්. වැදගතා යන්න ඒ ඒ සමාජයට සාපේක්‍ෂයි. අද මෙරට වැදගත් යැයි සම්මත අයකු නුවර යුගයේ දී වැදගත් වීමට ඉඩක් නැති ව තියෙන්න පුළුවන්. එමෙන් ම නුවර යුගයේ වැදගත් ලෙස සැලකුණු අයකු වත්මන් සමාජයේ වැදගත් නොවන්න පුළුවන්. අද සමාජයේ බටහිර උගත්කමට ඒ ඒ මට්ටම අනුව ඒ ඒ වැදගත්කම් ලැබෙනවා.

කවුරු හරි කියන්න පුළුවන් මටත් සමාජයේ තැනක් ඇත්තේ අධ්‍යාපනය නිසා බව. මා එසේ නො වේ යැයි කියන්නේ නැහැ. එහෙත් මා ඒ අධ්‍යාපනයෙහි ඉත්තකු වීම නවතා අවුරුදු තිස්පහකට වැඩියි.

අපේ අධ්‍යාපනයේ වැරදි රාශියක් තියෙනවා. පළමුවෙන් ම එය අපේ අධ්‍යාපනයක් නො වෙයි. ඒ අප මත පැටවූ එකක්. අපට අවස්ථාවක් ලැබුණේ නැහැ බටහිර අධ්‍යාපනයත් දැනුමත් අපේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඒ අපේ බවට පත් කර ගැනීමට. අපට බටහිර අධ්‍යාපනය, බටහිර දැනුම විතරක් නොවෙයි බටහිර දේශපාලනයත් පටවල තියෙනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් අප මත පැට වූ එකක්. මෙරට මේ එකක්වත් බටහිරට ඕන විධියටවත් අපට ඕන විධියකටවත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

අපි අධ්‍යාපනය ගැන සිත යොමු කරමු. අපේ පාසල්වල ඒ දවස්වල භාෂාව යටතේ අවබෝධය සඳහා පාඨයක් නියම කෙරුණා. එහෙත් ඉන් එතරම් වැඩක් වුණා ද කියන එක සැකයි. අද බොහෝ උගතුන්ට ලිපියක් කියවා තේරුම් ගැනීමට බැහැ. අප ලිපියක් කියවන්නේ කතාවක් අහන්නේ අපට සාපේක්‍ෂ ව. අපට ඇතැම් විට ලේඛකයා ගැනත් යම් පූර්ව නිගමනයක් තියෙනවා. ඒ නිගමනය අනුව ලේඛකයා කියන්නේ මේක කියා අප හිතා ගන්නවා. පාසල්වල ඊනියා අවබෝධයක් ලබා ගන්නේ කෙසේ ද කියා උගන්වන්නේ නැහැ. පාසලේ දී අපට පාඨයක් ලැබෙන්නේ ඊනියා වාස්තවික එකක් ලෙස.

අපට සංකල්ප ගැන නිසි අවබෝධයක් ලැබෙන්නෙත් නැහැ. බටහිර රටවල සංකල්ප ඉගැන්වීමේ දී ප්‍රවේසම් වෙනවා. ඒ සංකල්ප අප උගන්වන්නේ එතරම් ප්‍රවේසමක් නැතිව. සරල රේඛාවක් යනු මෙරට බොහෝ දෙනාට සරල රේඛා ඛණ්ඩයක් පමණයි. මා ඒ ගැන කිහිප වතාවක් ම කියා ඇති. සරල රේඛාවක් හිතෙන්වත් මවා ගන්න බැරි බවත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඔවුන් සරල රේඛා කියා මොනවාදෝ මෝල්ගස් වගේ ජාතියක් හිතෙන් මවා ගන්නවා.
අප විසඳන්නේ පරිධියේ ප්‍රශ්න. එයට හේතුව අප අසන්නේ පරිධියේ ප්‍රශ්න වීම. අප කේන්ද්‍රීය ප්‍රශ්නයක් අහන්නේ නැහැ. බටහිරයන් අප මත පටවන දැනුම මතක තබා ගෙන වැමෑරීමට අමතර ව අප කරන්නේ ඒ දුනුම අප ලබා ගන්නා ආකාරය අනුව පඬි ප්‍රශ්නයක් ඇසීම පමණයි. අප ලබා ගෙන ඇති පශ්චාත් උපාධි සඳහා ඉදිරිපත් කරන කෙටි හෝ දීර්ඝ හෝ නිබන්ධනවලින්, අලුත් දැනුමක් එකතු වන්නෙත් නැහැ.

ඒ අතර පඬි නැට්ටන් තවත් පඬි ප්‍රශ්න අහනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. එය සමාජයේ වැදගතකු වීමට ඊනියා වීරයකු වීමට පහසු මගක්. යශෝධරා දේවිය ගැන අහන ප්‍රශ්න මරිය තුමිය ගැන අහන්නේ නැහැ. නිකමට අල්ලා දෙවියන්ට යමක් කියල බලන්න. මෙයට හේතුව බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ප්‍රශ්න ඇසීමට දක්වන අනුග්‍රහය. බටහිරයන් හා ඔවුන්ගේ ක්‍රමය විසින් එසේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රශ්න අසන්නන් වීරයන් බවට පත් කෙරෙනවා. අද සියලු ඒක දේවවාදීන්ට, බටහිර විද්‍යාඥයන් ද අවසාන විග්‍රහයේ දී ඒක දේවවාදීන්, අවශ්‍ය ඒක දේවවාදයක්, නිර්මාණවාදයක්, තබා ඊනියා පැවැත්මක් ගැනවත් නොකියන බුදුදහම නැති කිරීම. ඔවුන්ට බුදුදහම පොත්පත්වල තිබීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් බුදුදහම මත පදනම් වූ සංස්කෘතීන් ආගම් පැවතීම බටහිරයන් නුරුස්සන දෙයක්.

සිංහල බුද්ධාගම ගැන ප්‍රශ්න ඇසීමට එයට පහර දීමට බටහිරයන් පඬියන් පඬි නැට්ටන් හා පඬි පෝතකයන් යොදා ගන්නවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා මිථ්‍යාවලට පහර දෙනවා. ඇතැම් පඬි නැට්ටන් බටහිර විවේචනවලින් බේරෙන්න බුදුදහම තාර්කික කරන්න හදනවා. ඒ අතක්කාවචර දහමක් බවත් අමතක කරමින්.
ජී එල් පීරිස්වත් අධ්‍යාපන නිලධාරීන්වත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන එකක් නැහැ. එසේ කිරීම එක් අර්ථයකින් සිය දිවි නසා ගැනීමක්. ඔවුන් වැඩිම වුණොත් බටහිර තියෙන තවත් යම් අංගයක් මෙරට අධ්‍යාපනයට හඳුන්වා දේවි. අනුකාරකයන්ට කළ හැකි වෙනත් යමක් නැහැ.

මහාචාර්ය නලින් ද සිල්වා

Facebook Comments